https://www.gossiplankanews.com/2018/12/parliament-expenditure.html
පාර්ලිමේන්තුව රැස් වූ දින පහකට වැය වූ වියදම රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ගණන් සෑදීම සම්පූර්ණයෙන් වැරැදි ගණනය කිරීමකැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ මර්වින් ජයශාන්ත මහතා පවසයි.
පාර්ලිමේන්තු රැස්වීම තිබුණත් නැතත්
පාර්ලිමේන්තුවේ සේවකයන් නවසිය පනහකට අධික පිරිසකට වැටුප් ගෙවීම් පාර්ලිමේන්තුවේ විදුලිය, ජලය ඇතුළු ස්ථාවර වියදම් සඳහා වසරකට රුපියල් කෝටි විසිහතක මුදලක් වෙන් කරන බවද ඒ මහතා කීය.
පාර්ලිමේන්තුව රැස් වුණත් නැතත් අදාළ පඩිනඩි හා අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි

පවත්වාගෙන යා යුතු බවත් රුපියල් කෝටි විසිහතෙන් සියයට 70ක්ම එම වියදම් යැයි ජයශාන්ත මහතා පෙන්වා දෙයි.
ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තුව රැස්වීම නිසා දිනකට සිදුවන පාඩුව මේ අය ගණනය කර ඇත්තේ වාර්ෂික පුනරාවර්තන වියදම සඳහා වෙන් කර ඇති මුදල වසරකට ඇති දින 365 බෙදාගෙන බවත් පාර්ලිමේන්තු මූල්‍ය අධ්‍යක්ෂ මර්වින් ජයශාන්ත මහතා තවදුරටත් පැවැසීය.
පාර්ලිමේන්තුව රැස් වුණත් නැතත් සේවක පඩිනඩි ගෙවීම, කාර්යාල පවත්වාගෙනයෑම, අවට උද්‍යාන නඩත්තු කිරීම් ආදිය කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටපහක් හා ජල බිල රුපියල් ලක්ෂ 7ක් පමණ වන බවද කියා සිටියේය.
පාර්ලිමේන්තුව රැස්වන දිනවල අලුතින් වියදමට එකතු වන්නේ මන්ත්‍රිවරු 225 දෙනා සඳහා ලබාදෙන ආහාරපාන, සභා ගැබේ වායුසමීකරණ වියදම්, විදුලි හා ජල සැපයුම් වියදම් පමණකැයිද ජයශාන්ත මහතා පෙන්වා දෙයි. මීට අමතරව ආරක්ෂක අංශ හා ආරාධිතයන්ගේ කෑම බීම වියදම්ද මෙයටම ඇතුළත් වන බවද හෙතෙම පවසයි. ඒ නිසා පාර්ලිමේන්තුව රැස්වී විනාඩි කිහිපයකින් පාර්ලිම්න්තුව කල් තැබුවද ඔය කියන තරම් විශේෂ පාඩුවක් සිදු නොවන බවද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ