රත්නපුර, වෙරළුප ශ්‍රී සම්බුද්ධාරාම විහාරස්ථානාධිපති  කෝන්වලානේ ධම්මසාර හිමියන් විසින් පන්සලට පැමිණි පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ගැන මේ වනවිට කථාබහක් ඇතිව තිබේ.
මෙම හිමියන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවන නමුත් අවස්ථා ගණනාවකදීම එම නඩුව මගහැර තිබෙන අතර  හිමියන් පන්සලෙන්ද පළාගොස් තිබී සිට ඇත.මේ නිසා හිමියන්ට නඩුවට
පැමිණෙන්නැයි වරෙන්තු නිකුත්ව ඇත.
රත්නපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ සේවය කරන සමරවික්‍රම නමැති මෙම පොලිස් නිලධාරියා හිමියන්ව නඩුවට සහභාග කරවන්නට අවස්ථා ගණනාවකම සිතාසි භාරදෙන්නට ගිය නමුත් පන්සලෙන් හිමියන් පළාගොස් ඇති නිසා එය කරන්නට බැරිව ගොස් තිබී ඇති අතර ඊයේ (10) උදෑසන ගම් වැසියන්ගෙන් ලද තොරතුරු මත හිමියන් පන්සලට වැඩම කර ඇතිය යන ආරංචිය ලැබී අවසන් වරට උසාවිය නිකුත් කළ වරෙන්තු සහතිකයද සමග හිමියන් වෙත එය ලබාදෙන්නට පන්සලට ගොස් තිබේ. ඔහු එහි ගොස් ඇත්තේ තනිවමය.

ඒ අවස්‌ථාවේ විහාරස්‌ථානය තුළ සැඟව සිටි විහාරාධිපති හිමියන් පොලිස්‌ සැරයන්වරයාගේ ගෙල මිරිකා ඇති අතර සැරයන්වරයාගේ කෑගැසීම ඇසුණු අසල්වාසීන් ඒ බව 119 පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.
ඒ අනුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පන්සල වටළා ඇති අතර පොලිසියෙන් එනවා දැක ආවාස ගෙයට රිංගා දොර වසාගත් සැකකාර හිමියන් එළියට ඇවිත් ඇත්තේ අත්බෝම්බයක්ද අත ඇතිවයි. එම බෝම්බය එල්ල කරන්නට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන් අත තිබූ පොල්ලකින් පහරදී සැකකාර හිමියන් මෙල්ල කරගෙන ඇත. එම පහරදීම නිසා හිමියන්ගේ අත බරපතල බිඳීමකට ලක්වූ බවද පැවසේ.
හිමියන් ගෙළ මිරිකීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව එම ස්ථානයේ වැටී සිටි සැරයන්වරයාව පසුව රෝහල් ගත කර තිබෙන අතර පොලිස් සැරයන්වරයා ඒ වන විටත් මියගොස් සිටි බවත් පොලිසිය පවසයි.

මියගොස් ඇති 53 හැවිරිදි පොලිස් සැරයන්වරයා පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. ඔහු මෑතකදී පල්ලේබැද්ද පොලිසියේ සිට රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව ස්ථාන මාරුවක් ලබා පැමිණි නිලධාරියෙකි. මෙම විහාරාධිපති හිමියන් විහාරස්ථානය අවට වෙසෙන්නන් සමඟද විවිධ ආරවුල් ඇති කරගෙන නඩු කිහිපයකටම පෙනී සිටින හිමිනමක් බව ප්‍රදේශවාසීහු කියති.

අසල පදිංචිකරුවකු වූ නිමල් නමැත්තකු පැවැසුවේ මෙම හිමිනම විසින් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන අයුරින් සිදු කරන විවිධ විෂමාචාර ක්‍රියා නිසා පොලිසිය ක්‍රියාත්මක නොවුණු තැන ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටද

අවස්ථා ගණනාවකදීම පැමිණිලි කර ඇති බවය.
සිද්ධිය වූ දිනයේ විහාරස්ථානය දෙසින් පුද්ගලයකු මර හඬ දී කෑගසනු ඇසුණ නමුත් විාහරාධිපති හිමියන්ගේ හැටි දන්නා නිසා එහි නොගිය බවත් නිවෙසෙන් පිටතට පැමිණ බලද්දී ආවාස ගෙය ‍දොරකඩ කෙනකු බිම පෙරළා ගෙන ගෙල සිර කරගෙන සිටින අයුරු දුටු බවත් ඒ නිසා පොලිසියට දැනුම් දුන් බවත් අසල්වැසියෙකු පවසා තිබේ.
 සැකකාර හිමිනම පොලිසිය පන්සලට එනවිට සිට ඇත්තේ චීවරයකින් තොරව කොට කලිසමකින් සැරසී ගෙනය.
විදේශ රටක නිෂ්පාදනය කළ අත්බෝම්බයක් ආවාස ගෙය ඉදිරිපස කොටසේ වැටී තිබි හමුවී තිබේ.
පොලිස් නිලධාරියා හිස පැලඳි තොප්පිය සහ ගෙන ගිය ලියකියැවිලිද එම ස්ථානයේ වැටී තිබි හමු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට රත්නපුර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී. සැකකාර හිමිනම කෝන්වලානේ ධම්මසාර යන නමින් පෙනී සිටිමින් මින් වසර 10කට පමණ පෙර මෙම ස්ථානයට පැමිණ ඇත්තේ ආගන්තුකයකු ලෙසටය. පැමිණ ටික කලකදීම ප්‍රදේශවාසීන් සමඟ ගැටුම් ඇති කරගෙන නොයෙක් විට ගම්මුන්ට පහර දීම්ද සිදු කර ඇත.

ඔහු අංගම්පොර ශූරයකු බවද අසල්වැසියෝ පවසති. පන්සල හා විහාරස්ථානයේ නඩත්තුව සඳහා විවිධ කරුණු සඳහන් කොට ටිකට්පත් අලෙවි කර මුදල් ලබා ගන්නා බවද වාර්තා විය.
රත්නපුර පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.