සුළිසුළං මහ වැසි නිසා
බස්නාහිර - දකුණ කැළඹේ

 කොළඹ ප්‍රදේශ කිහිපයකට ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් ගොඩනැගිලි කඩා වැටීම් මාර්ග අවහිරවීම් ඇතුළු හානි රැසක් සිදුව ඇත.
තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇණහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මධ්‍යම රාත්‍රී තත්වය අනුව  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි වාර්තා කර තිබුණි.
ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත.
කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා
මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
බ්‍රහස්පතින්දා දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.

ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලද තද සුළඟක් හමා ගිය බව වාර්තා විය.
පවතින අයහපත් කාලගුණයත් සමඟ සුළගේ වේගය පැයට කිලෝමීටර 70 - 80 අතර වේගයෙන් හමා යා හැකි බවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට නිවේදනය කර තිබුණි.
 අයපත් කාළගුණය හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට ගොඩ බැස්වීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩ බස්වා ඇති බවද වාර්තා විය.
ඒ අනුව චෙන්නායි සිට පැමිණි UL 124 ගුවන් යානය සහ බැංගලෝර් සිට පැමිණි UL 172 යන ගුවන් යානා දෙක මෙලෙස කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩ බස්වා ඇති බව මත්තල ගුවන්තොටුපල නිවේදනය කර සිටියි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට  පැයට කිලෝමිටර් 60 ක උපරිම වේගයක් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත.
 අයහපත් කාළගුණය හා අධික සුළඟත් සමඟ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමටද බාධා එල්ලවී තිබේ.
ඒ අනුව කොළඹ ගාල්ල, මාතර, හම්බන්තොට හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල විදුලි සැපයුමට මෙලෙස බාධා එල්ල වි තිබේ.

මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා අද රාත්‍රී 11 වන විට   15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.
ගිලන් රථ කිහිපයක් අපදා ස්ථාන වලට පිටත්ව ගොස් ඇතැයි ද දැනගන්නට තිබේ.
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක දෙක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හල්දුල්මුල්ල, බණ්ඩාරවෙල, ලග්ගල සහ පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.