මේ දිනවල නැවත හිස ඔසවා තිබෙන ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් ලෙස නම් කර දිස්ත්‍රික්ක 10ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 10ක සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කර කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඊයේ රාත්‍රී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයන් පැවති ඩෙංගු මර්දනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව සඳුදා සිට කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල අඛණ්ඩව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.
ඩෙංගු වසංගත තත්ත්වය අවසන් වන තුරු අදාළ දිස්ත්‍රික්කවල සේවකයින්ගේ නිවාඩු අවංලගුය.
ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට රු. 25000 දඩ මුදලක් නියම කර තිබෙන අතරම මදුරු පරීක්ෂා කිරීම් සඳහා පරිශ්‍ර තුළට කණ්ඩායම් ඇතුළු වීමේදී නිවෙස් හිමියන්ගේ අවසරය ලබා ගත යුතු නීතිය අහෝසි කිරීමටද තීරණයක් ගෙන ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව 2016 වසරේ වාර්තා වු ඩෙංගු රෝගින් සංඛ්‍යාව 47000 ඉක්මවයි.ජනවාරි සිට මේ දක්වා වාර්තා වු ඩෙංගු මරණ සංඛ්‍යාව 77කි.පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ, ඩෙංගු මරණ 54ක් පමණි.