විදුලි කම්බි යොදා තිබූ කෙසෙල් වත්තකට පැමිණි වන අලියකු විදුලිය සැර වැදීම නිසා සෙල්ල කතරගම පුංචිදබේ ප්‍රදේශයේදී මියගොස් සිටියදී වනජීවී නිලධාරීන් සොයාගෙන තිබේ. වයස අවුරුදු 22ක් පමණ වන
මෙම වන අලියා මෙම ප්‍රදේශයේ කෙසෙල් වගා බිමක් ආසන්නයේ වැටී මියගොස් ඇත. මෙම ප්‍රදේශයේ විශාල ලෙස කෙසෙල් වගාවන් සිදුකර ඇති අතර මෙම වගාවන් වන අලින් විසින් දිනපතාම විනාශ කිරීම නිසා මෙහි සිටින කෙසෙල් ගොවීන්ට දැඩි අලාභ හානියක් වී ඇතැයි  ප්‍රදේශවාසීන් පවසා තිබේ.

මෙම ප්‍රදේශයේ විදුලි වැටක් පැවැතියත් මෙම විදුලි වැට සෑදීමේදී මෙම වන අලින් වනයට පලවා හැරීමෙන් තොරව අලින් ගම් තුළ සිටියදී මෙම විදුලි වැට සවිකර ඇතැයි ප්‍රදේශවාසීහු වනජීවී නිලධාරීන්ට චෝදනා කරති. මියගිය අලියාගේ වලිගයේ කොටස්ද ප්‍රදේශවාසීන් විසින් ඉවත් කර ගෙන තිබිණි.

විදුලි රැහැන් සෑම කෙසෙල් වගා බිමකම ඇද තිබෙන අයුරු දිස්වන අතර මෙම වන අලියාද මෙම විදුලි රැහැනකට අසුවී මියගොස් ඇති බවට සැක කරන බව ලුණුගම්වෙහෙර අඩවි වනජීවී ආරක්ෂ ප්‍රධානි චින්තක අබේසිංහ මහතා පැවැසීය. මෙම අලියා සම්බන්ධ ලුණුගම්වෙහෙර වනජීවී නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
-ඩී.එන්.ඒ. කළුආරච්චි-