ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ  මහින්ද රාජපක්ෂ ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර අඟහරුවාදා (11) රාත්‍රියේ දී ලේකම් කාර්යාලයේ දි පැවැත්වූ විශේෂ හමුවේදී
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් මහින්ද ආන්ඩුව රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව ජනපතිවරයා දන්වා තිබේ.පැය එක හමාරකට අධික කාලයක් පැවති සාකච්ඡාව අවසානයේ එලියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පැවසුවේ වර්තමානයේ ඇති වී ඇති දේශපාන ගැටලුවට තිබෙන

එකම විසඳුම ජනතාව ඉදිරියට ගොස් මහමැතිවරණයක් පැවැත්වීම බව ජනපති පිලිගත් බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහින්ද ඇතුළු පිරිස සමග පවසා ඇත.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව  අනුව විසුරවීම තීන්දු නොවුණොත් ස්ථාවර රජයක් පත්කරන බවත් ඉන්පසු පැවැති රජයේ වංචා දුෂණ සෙවීම සඳහා කොමිෂන් සභා පත්කීරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ නිලධාරීන්ට හිටපු අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් බාධා එල්ලවූ බැවින් එම පරීක්‍ෂණ නිසිලෙස සිදුනොවූ බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. එහෙත් සිදුවූ දේශපාලන වෙනසත් සමඟ බැදුම්කර වංචාව සම්බන්ධ පරීක්‍ෂණ ස්වාධීනව නිසිලෙස සිදු කෙරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදු ලකුණකින් මැතිවරණයට තරඟ කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී මන්ත‍්‍රීවරුන් අදහස් දැක්වූ බවත් එහිදී දෙපාර්ශ්වයටම එකඟවිය හැකි පොදු ලකුණක් තෝරාගැනීම පිළිබඳව සාකච්ඡා කළ බවත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ ශ්‍රිලනිප- ශ්‍රීපොජපෙ හා සෙසු පක්ෂ සියල්ලම සන්ධානයක් යටතේ ඉදිරියෙදි කටයුතු කිරිම සම්බන්ධයෙක් සාකච්ඡා කළ බවයි.