බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් කර ඉදිකර තිබෙන මිහින්තලා මහ සෑ මළුවට නැගීමට යෝජිත ගල් පඩිපෙළ සැකසීම සඳහා රුපියල් මිලියන දහයක මුදලක් (රුපියල් කෝටියක්) සොයාගන්නැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් වරයා තමන් වහන්සේගෙන් ඉල්ලා සිටීම ගැන පුදුමය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියෝ පැවසූහ.

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ශාස්ත්‍රීය/ වස්තු විද්‍යා සංරක්‍ෂණ වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බී. රත්නායක මහතා ‘ශාසනාලයෙන් යුතුව‘ යයි සඳහන් කරමින් තමන් වහන්සේට මේ බව ලිඛිතව කළ දැන්වීම දැක මවිතයට හා සංවේගයට පත්වූ බව උන් වහන්සේ දන්වා ඇත.


ගල් පඩි 87කින් සමන්විත පියගැට පෙළ අනතුරුදායක ස්ථානයක් බව වටහා ගැනීමෙන් අනතුරුව එය ආරක්ෂිත මාර්ගයක් ලෙස නියමිත ප්‍රමිතියට ඉදිකර දෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අදාළ ලිපිය උන්වහන්සේ යොමු කර තිබේ. රත්නායක මහතාගේ අස්සනින් යුතුව පසුගිය 03 වැනිදා මෙය සටහන් තබා තිබේ.
"මට හැඟෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මට මුදල් සම්පාදනය කර ගන්න කියලා වගේ මේ ලිපියෙන් කියලා තියන්නේ. බෞද්ධයන්ට අයිති මේ රටේ පළමු විහාරස්ථානය වන මිහින්තලය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මට තමයි මුදල් සපයා ගන්න වෙලා තියෙන්නේ. මම ඉල්ලීම කළේ මේ පඩිපෙළ ඉතාම අත්තරාදායක නිසයි. සමහර අවස්ථාවලදී බැතිමතුන් විශාල වශයෙන් එහි ගමන් කරන කොට විශාල තෙරපීමක් ඇති වෙනවා. පොසොන් සමයට එම ස්ථානය ඉතා අනතුරුදායකයි. මේ ස්ථානය හදන්න මගෙන් මුදල් ඉල්ලලා හරි යන්නේ නෑ. ඊට අදාළ ආයතනවලට දන්වලා ඒ ප්‍රතිපාදන සපයා ගන්න එතුමන්ලා දැන ගත යුතු බව මා ශාසනාලයෙන් එතුමලාට දැනුම් දෙනවා'යි උන්වහන්සේ පැවැසූහ.
'මිහින්තලා මහ සෑයට නැගීමට යෝජිත පඩිපෙළ සැකසීම සඳහා ඔබ වහන්සේගේ ඉල්ලීම පරීදි මේ වන විට සැලසුම්  හා ඇස්තමේන්තු පිළියෙල කර ඇත. එහි දළ වියදම් ඇස්තමේන්තුව රුපියල් 11,914,018.21ක් වේ. ඉහත ඇස්තමේන්තුව සකසා ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් එම කාර්යය ඉටු කර ගැනීම සඳහාය. මහ සෑ මළුව හා මල් ආසන සඳහා ලැබුණු ප්‍රතිපාදනවලීන් දැනට රුපියල් මිලීයන දෙකක මුදලක් දෙපාර්තමේන්තුවේ ඉතිරිව ඇත. ඒ අනුව තවත් රුපියල් මිලීයන 10ක් පමණ ඉහත කාර්යය සඳහා අවශ්‍ය වී ඇත. මේ සමඟ අදාළ සැලසුම් හා ඇස්තමේන්තු පිටපතක් ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලබන අතර අදාළ ප්‍රතිපාදන සපයා ගැනීමට කටයුතු කරන මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමි" යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.


-මහේෂ් විජේසුරිය-