ලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්ධියේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවෙසක් තුළට කඩා වැදීමෙන්
එම නිවෙසට හා කැබ් රථයට බරපතළ හානි සිදුව තිබේ. මේ අනතුරින් කැබ් රථයේ සිටි යශෝධ රංගේ බණ්ඩාර මහතා හා තවත් අයකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (06දා) අලුයම 01.30ට පමණ මේ අනතුර සිදුව තිබේ. කරුකපනේ ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගි වී ආපසු නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

මේ කැබ් රථය වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයට අයත් එකක් බවට සඳහන් ලියකියවිලි මෙන්ම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයාට අයත් බව සඳහන් ලියකියවිලි කිහිපයක්ද, මීට අමතරව කඩුවක් හා පොලු කිහිපයක් කැබ් රථයේ තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.


මේ කැබ් රථයේ තිබී මත්පැන් බෝතලයක් හා සෝඩා බෝතලයක්, බයිට් වර්ග කිහිපයක් හා මත්පැන් පානය කළ කෝප්ප කිහිපයක්ද තිබී හමු වී ඇත. කැබ් රථය හා කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරෙන් නිවෙසේ සාලය ප්‍රදේශය සුන්බුන් ගොඩක් බවට පත්ව තිබූ අතර කැබ් රථයටද බරපතළ ලෙස හානි සිදුව ඇත. රථය පදවාගෙන පැමිණ ඇත්තේ වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා බවට හඳුනාගත් බව ආපදාවට පත් නිවෙස් හිමියා වන චාමර ළහිරු නුවන් අමරදිවාකර පවසයි.
තවද ඔහුත් ඔහුගේ බිරියත්, දරු දෙදෙනාත් අනතුර සිදුවූ අවස්ථාවේ නිවෙසේ ඇතුළත කාමරවල නිදාසිටි බව පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථයේ පැමිණි රියැදුරු ඇතුළු තුවාලකරුවන් පිරිස ඊට පිටුපසින් පැමිණි තවත් කැබ්රථයක පිරිසක් විසින් ඊට නංවාගෙන ගොස් ඇති බව සිද්ධිය දුටුවෝ පවසති.

කරුකපනේ මාර්ගයේ සිට පැමිණි කැබ්රථය හලාවත-පුත්තලම මාර්ගයට හරවාගත නොහැකිව එම මාර්ගය හරහා පැන කඩා බිඳගෙන ගොස් නතර වී ඇත. නවීන වර්ගයේ කැබ් රථයේ වායු බැලුන් සියල්ල විවෘතව පුපුරා යෑම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන්ට සිදුව ඇති හානිය අවම විය හැකි බව පොලිසිය පවසයි.

රථයේ ගමන් ගත් පුද්ගලයන් පිළිබඳව සෙවීමට ආරච්චිකට්ටුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමරතුංග ඇතුළු නිලධාරීන් පිරිසක් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.