නාවල නාරාහේන්පිට ලේක් විව් ඩ්‍රයිව් පාරේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක් කළැයි කියන සිද්ධියට අදාළව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ල මහතාගේ රියැදුරු බලපත්‍රය
මුදාහරීන ලෙසට සැකකාර පාර්ශ්වය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (05) ප්‍රතික්ෂේප කළේය.
බීමතින් රිය පදවා මෙම අනතුරු සිදුකිරිම හේතුවෙන් එම තහනම නඩු විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන බව ද සඳහන් කරමින් අධිකරණය මෙම නියෝග සිදු කළේය. අධිකරණය මගින් අත්හිටුවා තිබූ තම රියැදුරු බලපත්‍රය මුදාහරින ලෙසට සැකකාර රමිත් රඹුක්වැල්ල මහතා විසින් ඊයේ (04) නිතිඥවරයකු මාර්ගයෙන් මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලිමක් සැලකිල්ලට ගත් අධිකරණය
මෙම නියෝග ලබාදෙනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව රමිත් රඹුක්වැල්ල මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබුවේ ඉකුත් මාතු මස 13 වැනිදාය. එහි දී සැකකරුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිට වූ අධිකරණය, සැකකරුගේ කායික සහ මානසික ‍වෛද්‍ය වාර්තාවක් කැදවීම සඳහා නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය මණ්ඩලය
වෙත යොමුකරවන ලෙසට ද නියෝගයක් නිකුත් කරනු ලැබ තිබිණි.
නාරාහේන්පිට පොලිසිය විසින් සැකකරුට එරෙහිව නගා තිබූ චෝදනා හතරක් සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවට රමිත් රඹුක්වැල්ල මහතා සදහන් කරනු ලැබීය. බීමත්ව රිය පැදවීම. අනතුරක් වළක්වා නොගැනීම, නොසැලකිලිමත් රිය ධාවනය සහ අනතුර වාර්තා නොකිරීම යන චෝදනා හතර පොලිසිය විසින් සැකකරුට නගා තිබූ චෝදනාය.
මෙම සිද්ධියට අදාළ තුවාල සම්බන්ධයෙන් වූ පැමිණිල්ල පැමිණිකරුවන් විසින් ඉල්ලා අස්කරගෙන ඇති බවත් සැකකරුට එරෙහිව චෝදනා නගා ඇත්තේ අදාළ චෝදනා සමබන්ධයෙන් බවත් නාරාහේන්පිට පොලිසියෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. සිද්ධියට අදාළ වැඩිදුර විභාගය ලබන ජුනි මස 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.