ප්‍රවීණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 86 වන වියේ ඔහු පසුවිය.
 1932 මැයි 28 දා සීදූව ප්‍රදේශයේදී පැස්‌කුවල් දොන් ඔගස්‌ටින් අයිවෝ නමින් ජන්මලාභය ලැබූ ඔහු 1952 වසරේදී ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පැවැත්වූ 'ආධුනික පැය' වැඩසටහනේදී ප්‍රථම වරට ගීතයක්‌ ගායනා
කරනු ලැබීය. ඒ 'වරෙන් හීන් සැරේ' ගීතයයි. වෘත්තියෙන් ගුරුවරයකු වූ අයිවෝ රත්නපුරය, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්හි ඉගැන්වීම් කටයුතුවල ද නිරත විය. පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා මෙන්ම එකල පැවැත්වූ 'හෙළ මිහිර' ගායන වෘන්දයේ මූලිකයා බවට ද පත් විය. වීරසේන ගුණතිලක, ලයනල් රන්වල, රෝහණ බැද්දගේ වැන්නවුන් හෙළ මිහිරේ අයිවෝගේ සමකාලීනයෝ වූහ. ඔහුගේ කටහඬ එකල සුභාවිත ගීත ක්‍ෂේත්‍රය දිග්විජය කළ සුනිල් ශාන්තයන්ගේ හඬට බොහෝසේ සමානකම් දැක්‌වීය. ඒ හේතුවෙන් සුනිල් ශාන්තයන්ගේ ගීත ගායනා කිරීමේ වැඩි අවකාශයක්‌ අයිවෝට උදාවිණි.

ලද අවස්‌ථාවෙන් විපුල පල නෙළාගත් අයිවෝ ගායනයේදී ගීතවලට උපරිම සාධාරණයක්‌ ඉටුකිරීමට සෑම විටම සමත්කම් දැක්‌වීය. සුනිල් ශාන්තයන්ගේ හමුව අයිවෝ ඩෙනිස්‌ගේ ගායන දිවියේ අතිශය වැදගත් අවස්‌ථාවක්‌ විය.
 තම හඬට ඉතා සමාන හඬකින් ගීතය ගායනා කළ අයිවෝ ඩෙනිස්‌ නම් ආධුනිකයා සුනිල් ශාන්ත තම සංගීත තක්‌සලාවට ඇතුළත් කර ගත්තේය.  1975 දී සුනිල් ශාන්තයන්ගේ 'රන්වලාව' සංගීත වැඩසටහනට එක්‌වීමට අයිවෝට අවස්‌ථාව උදාවිණි. එහිදී තිලක සුධර්මන් ද සිල්වා ලියූ සුනිල් ශාන්තයන් සංගීතවත් කළ 'කුරුලු පරාදීසයේ' ගීය ගයමින් අයිවෝ ඩෙනිස්‌ සිය සංගීත චාරිකාව ආරම්භ කළේය.
 කුරුලු පරාදීසයේ පළමු ගීයෙන්ම අයිවෝ ඩෙනිස්‌ යන නාමය ජනප්‍රසාදයට පත්විය. සුනිල් ශාන්තයෝද අයිවෝගේ දක්‍ෂතාවය දැක බොහෝසේ සතුටට පත් වූහ.
ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ රේඛාව චිත්‍රපටයට ගීතයක්‌ ගායනා කරමින් අයිවෝ ප්‍රථම වරට සිනමා ක්‍ෂේත්‍රයට ප්‍රවිශ්ට විය. පසුව 'සංදේශය' හා 'හිම කතර' වැනි චිත්‍රපට සඳහා ගීත ගායනයට එක්‌වෙමින් සිනමා ගීතය අතික්‍රමණය කිරීමට සමත් විය. මකුලොලුව විසින් කරළියට ගෙන ආ "දෙපානෝ" නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟමින් අයිවෝ තම

රඟපෑමේ හැකියාවද විදහා දැක්‌විය. ඉන් පසුව සතිස්‌චJද්‍ර එදිරිසිංහගේ 'තහංචි' ගීත නාටකයේද ප්‍රධාන නළුවා බවට පත් විය. ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ රේඛාව චිත්‍රපටය වෙනුවෙන් සුනිල් ශාන්තයන් නියෝජනය කරමින් ඉන්දියාවට ගිය අයිවෝ ඩෙනිස්‌ එහිදී "ඕලු නෙළුම් නෙරිය රඟාලා", "සුදු සඳ එළියේ", "සීගිරි ළඳකගේ" වැනි ගීත ගායන ශිල්පීන්ට පුහුණු කළේය. '
ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට සංගීතඥයකු වූ ප්‍රේමසිරි කේමදාසයන් සමග ද ඉතා සමීපව කටයුතුකළ ඔහුට පිරිනිවන් මංගල්‍යය, මානස විල වැනි ඔපෙරා සහ කැන්ටාටාවේ වැනි නිර්මාණවලට පවා දායක වීමට වරම් හිමි විය.
බඹරු ඇවිත්, හිම කතර, පාරදිගේ, දෙවැනි ගමන වැනි චිත්‍රපට සඳහා ද සිය භාවපූර්ණ හඬින් පසුබිම් ගී ගැයූ අයිවෝ ඩෙනිස්‌ 1985 වර්ෂයේ දී 'හිමකතර" චිත්‍රපටයේ ගායනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේය. එමෙන්ම වසර 50 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ සිංහල ගීත ක්‍ෂේත්‍රයට කළ සේවාව අගයා 1995 දී ඔහු උණ්‌ඩා සම්මානයෙන් පිදුම් ලැබීය.
බීබීසී ගුවන් විදුලියේ "ලංකා උදානය" වැඩසටහනින් හා 2004 දී ලක්‌හඬ ගුවන් විදුලිය විසින් දේශාභිමානී ගීත පෝෂණයට දැක්‌වූ දායකත්වය වෙනුවෙන් අයිවෝට සම්මාන පුද කරනු ලැබීය.