රාජ්‍ය ආයතනවලට අයත් යාවත්කාලින නොවූ හා පිවිසීමට දුෂ්කර වෙබ් අඩවි හඳුනාගැනීමට වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය
රොහාන් සමරජීව

මහතා පැවැසීය.
ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට වටිනා මාධ්‍යයක් වුවද ඇතැම් රාජ්‍ය ආයතන වෙබ් අඩවි නිසියාකාරව යාවත්කාලින නොකිරිම නිසා ජනතාවට මෙන්ම ආණ්ඩුකරන ක්‍රියාවලියටද සිදුවන්නේ අවාසියක් යැයි සමරජීව මහතා අවධාරණය කළේය.
එහෙත් ජනතාව මෙම වෙබ් අඩවි සම්බන්ධයෙන් දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන්නේ යැයි චෝදනා කළ හෙතෙම මෙම තත්වය වෙනස් කරගැනීමට නම් ඔවුන් ද සැලකිය යුතු මැදිහත්වීමක් කළ යුතු යැයිද පැවැසීය.
ඒ අනුව යාවත්කාලීන නොවූ වෙබ් අඩවි හා ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි වර්ගීකරණය කරමින් මෙම වැඩපිළිවෙළට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇතැයිද මහාචාරිය සමරජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.