කොළඹ බේරේ වැව පතුලේ තැන්පත්ව ඇති අපිරිසුදු පස්තට්ටුව ඉවත් කරන බවත් ඉදිරියේදී දුම්රිය ස්ථානයේ සිට මහ රෝහලට මගීන් ගෙන යන බෝට්ටු සේවයක් ආරම්භ කරන බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බේරේ වැව රේඛීය උද්‍යානය (නැගෙනහිර බේරේ, නැගෙනහිර ඉවුර) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“මේ වැව් පතුලේ තැන්පත්ව තිබෙන ඉතාමත් අපිරිසුදු පස්තට්ටුව ඉවත් කිරීම සඳහා වූ ව්‍යාපෘතියත් අපි මේ වසරේදී කි‍්‍රයාත්මක කරනවා.

ඒ වගේම කොළඹ නගරයේ මලාපවහන, ජලාපවහන පද්ධතිත් එකට මිශ‍්‍ර වී තිබෙන්නේ. එය වෙනස් කිරීමේ කටයුත්තත් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා.

පිටින් විතරක් නෙමෙයි කොළඹ නගරය ඇතුළතිනුත් ලස්සන කරලා මේ ජල තීරය රටේ ආර්ථිකයේ ප‍්‍රධාන මර්මස්ථානය ගොඩනගන ජලතීරය බවට ඉදිරි වසර 10දී පත්වෙයි.  පළමු පියවර හැටියට ඉදිරි කාලයේදී නාවික හමුදාවේ සහයෝගය ඇතිව දුම්රිය ස්ථානයේ සිට මහරෝහලට මහජනතාව ගෙනයන බෝට්ටු සේවයක් ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.