පසුගියදා මහනුවර හටගත් මුස්ලිම් විරෝධී ප්‍රහාර පිළිබඳ ප්‍රශ්න කිරීම පිණිස මහින්ද පිලේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාව පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත කැඳවා තිබේ.

ඔහුට අද (15) උදෑසන 10.30ට පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.


මාර්තු මාසයේ මුල භාගයේ මහනුවර හටගත් මුස්ලිම් විරෝධී ප්‍රහාර හේතුවෙන් කිහිප දෙනෙකු මරුමුවට පත්ව දේපලවලට දැඩි හානි සිදුවිය.

ප්‍රහාර සිදුවන අවස්ථාවේම ආණ්ඩුව ප්‍රකාශ කළේ ප්‍රහාරවලට සම්බන්ධ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැනද පරීක්ෂණ කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇති බවය.

ආණ්ඩුව අදාල මන්ත්‍රීවරයාගේ නම හෙළි නොකළ නමුත් මහනුවර ගැටුම්වලට සම්බන්ධ බවට සැකකෙරන මහින්ද පිලේ ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්විය.

මේ අතර මහනුවර ප්‍රහාර සම්බන්ධයෙන් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති.