දකුණු පළාතේ පැතිර යන වෛරසයට ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍යම ඖෂධයක් වන ටැමින් ලූ නමැති ඖෂධය මේ වනවිට ලංකාවේ නොමැති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය රටට පැහැදිලි කළ යුතු බවත්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

 එමෙන්ම දකුණු පළාත තුළ පැතිර යන වෛරසය වසංගත තත්වයක්ද, නැද්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකය මේ වනතෙක් රටට දැනුම් දී නැතැයි එම සංගමය චෝදනා කරයි.

මේ තත්වය හමුවේ මානව සම්පත කෙසේ කටයුතු කළ යුතුද යන්න සම්බන්ධයෙන් විමසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කළද ඊට මේ වනතෙක් පිළිතුරු ලැබි නැතැයි ලේකම්වරයා කීය. දකුණු පළාත තුළ පවතින වෛරස් තත්වය සම්බන්ධයෙන් හා ආපදා තත්ත්වය හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී ශාඛා මට්ටමෙන් මේ වන විට අවශ්‍ය පිළියම් යෙදීමට වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ඒ මහතා කියා සිටියේය. හෙතෙම මේ බව පැවැසුවේ ඊයේ (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.