මේ දක්වා රජය මගින් බොහෝ විට නීති රීති පැනවුනේ රාජ්‍ය අංශයේ සේවකයින් සම්බන්ධ සංසිද්ධි සඳහා වූ අතර ඊට බලපෑවේ පෞද්ගලික අංශයේසේවය කරන සේවකයින්ට බලපාන ප්‍රධාන කම්කරු ආඥා පනත් රජයට අතපෙවීමට අපහසු පැරණි වගන්තිවලින් යුක්තවීම නිසාය.

ඒ නිසා සේවක වැටුප් සේවක නිවාඩු ඇතුළු වෙනත් නීතිරීතිද බොහෝ දුරට පුද්ගලික හාම්පුතුන්ගේ විවිධාකාර රෙගුලාසි යටතේ තිබිණි.
මෙම පනත් ගණනාවක් එකතු කර එක් සේවා නියුක්ති පනතක් ගෙන ඒමට කටයුතු කරමින් තිබෙන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා ඇත්ත‍ෙ
එම සංශෝධනයට අනුව සාප්පු හා කාර්යාල සේවක පනත, පඩිපාලක සභා ආඥා පනත, ස්ත්‍රීන්, තරුණයන් හා ළමුන් සේවයේ යෙදවීමේ පනත, ප්‍රසූතිකාධාර පනත යන පනත් එකට එකතු කර එක් පනතක් සකස් කිරීම සිදුවන බවයි.
සංශෝධනයන් තුළින් සේවකයින් මෙතෙක් භුක්ති විඳි කිසිඳු වරප්‍රසාදයක් අහිමි නොවන බව ඇමති කියයි.
දැනට පවතින නීතිරීති බොහෝ පැරණි සහ යල්පැන ගිය ඒවා බවත්, එවකට පැවැති සමාජ ආර්ථික රටාව පදනම් කරගනිමින් පැවැති නීතිරීති බවත් මේ නිසා වෙනස්කම අවශ්‍යවී ඇති බවත් ඔහු දක්වයි.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සූදානම් බවත්, මෙසේ මෙම පනත් සියල්ල එක් සේවා නියුක්ති පනතක් මගින් ගෙන ඒම තුළින් ආයෝජකයින්ටත්, කම්කරු දෙපාර්තමේන්තුවටත්, වැඩකරන ජනතාවටත් පහසුවක් සැලසෙන බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.