විශ්‍රාම වැටුප්, මහජන ආධාර (පිංපඩි) වැඩිහිටි දීමනා, ධීවර විශ්‍රාම වැටුප්, ගොවි විශ්‍රාම වැටුප්, පිළිකා ආධාර ඇතුළත් රජයේ මුදල් රු. 236000ක් සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව චෝදනා ලැබූ මීගමුවේ තැපැල් ස්ථානාධිපතිවරයකු 21දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්දු, ජයසූරිය මහත්මිය නියෝග කළාය, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතවූයේ මීගමුව, පෙරියමුල්ල තැපැල්
කාර්යාලයේ ස්ථානාධිපති බව කියන කටු කෙන්ද, බඩල්ගම පදිංචි පුද්ගලයෙකි.

මොහු වසර 16ක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර දැනට මීගමුව පෙරියමුල්ල මුස්ලිම් පල්ලිය පාර පිහිටි තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියේය. පසුගිය 2018.05.10 දින

මෙලෙස එහි සේප්පුවේ මුදල් තිබෙනවිට සවස 5ට පමණ තැපැල් කාර්යාලය වසා කාර්යාල කාර්ය සහායක සමග පිටත්ව ගිය බවත් පසුදින 11 දින නැවත පෙරවරුවේ තැපැල් කාර්යාලයට පැමිණී බවත් තැපැල් ස්ථානාධිපතිවරයා මීගමුව පොලිසියට එදිනම පැමිණිල්ලක් කරමින් කියා ඇත.

 කාර්යාලය විවෘත කරනවිට පරිගණකයේ මොනිටරය පෙරළී තිබුණු බවත්, සේප්පුව වටා තිබූ දම්වැල බිම වැටී තිබුණ බවද පසුව සේප්පුව විවෘත කර බැලීමේදී එහි ලාච්චු දෙක කඩා මුදල් සොරකම් කර ගෙන ගොස් ඇති බව ද පැමිණිල්ලෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. පසුව මීගමුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක දේශාන්ත පෙරේරා මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ තැපැල් කාර්යාලයට ගොස් පරීක්ෂා කිරීමේදී තැපැල් කාර්යාලයේ දොර ජනෙල් කිසිවක් කඩා තිබූ නැති අතර වහලයේ තිබූ කුඩා වීදුරුවක් පමණක් කඩාතිබූ බව දැක ගැනීමට හැකිව ඇත.

කිසිවෙකු පිටතින් තැපැල් කාර්යාලයට ඇතුළුවී නොමැති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබූ බැවින් මේ සොරකම සම්බන්ධව පැමිණිලි  කළ තැපැල් ස්ථානාධිපතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන 1982 අංක 12 දරන පොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.