යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටුකරන ලද සුවිශේෂී වූ විශිෂ්ට සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනාධිපති ගරු
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
යුද හමුදාවේ ලූතිනන් කර්නල් සහ ඊට ඉහළ

නිලවල නිලධාරින් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් ඇති නිලධාරින් වෙත පමණක් මෙම  පදක්කම ප්‍රදානය කරනු ලබන්නකි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ඇතුළු ත්‍රිවිධ හමුදාවන්වල සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 50 පනස් දෙනෙකු මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලැබූහ.
මෙහිදී හිටපු හමුදා ප්‍රධානියෙකු හා මහින්ද රජයේ තානාපතිවරයෙකුවූ ෂවේන්ද්‍ර සිල්වා හටද පදක්කමක් හිමි විය.
පදක්කම් ප්‍රදානයෙන් අනතුරුව පදක්කම් සමග පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

( ඡායාරූප : සුදත් සිල්වා )