ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ ආගමික වතාවත් කරන අතරතුරදී සොරා ගන්නා ලදැයි කියන ඔහුට අයත් යාවජීව රණමයුර සම්මානය ජේමිස් පීරිස් මහතාගේ ඥාතීන්ට බාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා බම්බලපිටිය පොලීසියට ඊයේ (21දා) නියෝග
කළේය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් යාවජීව රණමයුර සම්මානය මේ වන විට නඩු භාණ්ඩයක් වී ඇති බැවින් එහි ඡායාරූප ගැනීමෙන් අනතුරුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති දියණියක වූ ගයත්‍රී කුමුදිනී මහත්මියට බාර දෙන ‍ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය. යාවජීව රණමයුර සම්මානය සමගම සොරකම් කරන ලද ඇපල් වර්ගයේ ජංගම දුරකථනය මීලදී ගත් බව පැවසෙන ගුරුසාමි ශ්‍යාමලන් නමැත්තා රුපියල් ලක්‍ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, සෙසු සැකකරුවන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රීමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ කඩුවෙල, කොතලාවල පදිංචි ත්‍රිරෝද රථ. රියදුරකු වන පර්සි චන්ද්‍රසිරි අල්විස්, ගම්පොළ පදිංචි නවරත්න බණ්ඩාර හෙවත් නිමල්, නාවලපිටියේ පදිංචි ආනන්ද රෝහණ පෙරේරා, ගම්පොළ පදිංචි

ඒ. නිලේන්ද්‍රන් සහ හිනිදුම පදංචි එච්.එස්. සිසිර කුමාර නමැත්තන්ය.

 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ අවමඟුල් උත්සවය අවස්ථාවේදී ඒ මහතාගේ නිවසේ තිබූ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් සහ එතුමාට අයත් වූ මිල කළ නොහැකි යාවජීව රණමයුර සම්මානය නිවසින් අතුරුදන්ව ඇති බවට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති දියණියක විසින් බම්බලපිටිය පොලීසියට පැමිණීලී කර තිබිණි. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කළේය.

මෙම සිද්ධියේ සැකකරුවන් අතරින් සැකකරුවන් දෙදෙනෙකු පිටස්තර අයට නොපෙනෙන ලෙස සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි රෙදිවලින් ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, ඔවුන් සම්බන්ධයෙන් පැවැත්වූ හදුනා ගැනීමේ පෙරටුවේදී සාක්‍ෂිකරුවන් විසින් එම සැකකරුවන් දෙදෙනා හදුනා ගන්නා ලදී.

සිද්ධියට අදාළව සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීට පෙර අවස්ථාවකදී අධිකරණයට ඉදිරිපත් කළ බ‍ම්බලපිටිය පොලීසිය, අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේමිස් පීර්ස් මහතාගේ දේහය පසුගිය 02 වැනිදා අවමඟුල් උත්සවයට ගෙන යෑමට පෙර ඒ මහතාගේ නිවසේ ආගමික වතාවත් පවත්වා ඇතැයි දැනුම් දුන්නේය.

එලෙස ආගමික වතාවත් පවත්වන අතරතුර ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වන ආකාරයෙන් එහි පෑමිණි සැකකරුවන් නිවැසියන් කලබලයෙන් යුතුව කටයුතු කරන අතරතුර දේහය අසල තත්පත් කොට තිබූ ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන සම්මානයක් ලෙසින් ඉන්දියාවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට පිරිනමා තිබූ යාවජීව ප්‍රණාම පදක්කම හා ඒ මහතාගේ ඥාතියෙකුට අයත් රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන ගොස් ඇතැයිද දැනුම් දුන් පොලීසිය මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේ යැයිද දැනුම් දුන්නේය.

එලෙස පරීක්‍ෂණ පවත්වන අතුරතුර මාර්ග අංක 177 බස් මාර්ගයේ ධාවනය කරන බස් රථයක දමා ගොස් තිබීයදී බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා විසින් අදාළ යාවජීව ප්‍රණාම පදක්කම පොලීසියට ගෙනැවිත් බාරදී ඇතැයි දැනුම් දුන් පොලීසිය මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරීක්‍ෂණවලදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අසල්වැසි නිවසක තිබූ සී.සී. ටී.වී, කැමරාවක මෙම සැකකරුවන් ත්‍රිරෝද රථයකින් පැමිණ ඉන් බැස යන අයුරු සටහන්ව තිබුණු බවද දැනුම් දුන්නේය. එම ත්‍රිරෝද රථයේ අංකය හරහා සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙම පර්සි වන්ද්‍රසිර් අල්විස් නමැති ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වූ අතර,
සොරකම් කරන ලද ජංගම දුරකථනය රුපියල් 4,000ක මුදලකට ගම්පොළ ප්‍රදේශයේ දුරකථන අලෙවි කරන වෙළෙඳ සැලකට විකුණා තිබීයදී සොයාගත් බව පොලිස් නිලධාරීහු, අධිකරණයට දැන්වූහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගයන් නිකුත් කළ අතර, මෙම පැමිණිල්ල ලබන මස 04 වැනිදා යළි කැදවිමටද නියම කළේය.