අද දින ඇතිවූ වර්ෂා තත්වයන් නිසා කළුතර හා ගාල්ල ප්‍රදේශ ජලයෙන් යටවී ගංවතුර අවදානම් තත්වයන් මතුව තිබේ.
 බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පහත් බිම්, වගා බිම්, නිවාස 100ක් පමණ ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.මේ අතර අලුත්ගම ඓතිහාසික කන්දේවිහාරයට පිවිසෙන මාර්ගයේ ස්ථාන කිහිපයක්
වසර 30කට පසුව  ජලයෙන් යටවී ඇත.කළුතර දිස්ත්‍රික්කයේ පානදුර,කළුතර, හා බේරුවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා තත්ත්වයන් රැසක් වාර්තාවී ඇත. පයාගල පොතුවිල ප්‍රදේශයේ විහාරස්ථානයක්, අලුත්ගම, කළුවාමෝදර, දර්ගානගරය, කාලවිල,පිංහේන,වලතර, පයාගල,

හල්කඳවිල,සිංහගම ආදී ප්‍රදේශ ජලයෙන් දැඩි බලපෑමට ලක් ඇත.

 ගාල්ල ප්‍රදේශයට ද ඊයේ රාත්‍රියේ සිට පැය තුනක කාලයක් තිස්සේ ඇද හැලුන ධාරානිපාත මහ වැසි නිසා ගාල්ල නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇත.
ගාල්ල මහාවිදිය , වක්වැල්ල පාර , දංගෙදර , තනිපොල්ගහ හන්දිය බෙලිගහ හන්දිය කලේගාන නුගදූව සමගිවත්ත යන ප්‍රදේශ ඇතුලු තවත් ප්‍රදේශ රැසක මහා මාර්ග අතුරු මාර්ග මෙන්ම නිවාස සහ කඩ සාප්පුද ජලයෙන් යට වී තිබේ.බොහෝ ප්‍රදේශවල මාර්ග අයිනේ ඇති කඩ සාප්පු අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ දි ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි ඇති අතර
අධික වර්ෂාවත් සමගම ඝන මීදුම් තත්ත්වයක්ද පවතින බව වාර්තාවේ.