ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විසි එකේ  වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ රෝගී කාන්තාව දා හතේ වාට්ටුවට මාරු කිරීම ප්‍රමාදවීම නිසා කෝපයට පත් රෝගී කාන්තාවගේ විසි හැවිරිදී පුතා විසි එකේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට පෙරේදා (9) පහර දී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

   විසි එකේ

වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි නිව්මෝනියා රෝගයෙන් පෙළෙන කාන්තාවක් පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා දාහතේ වාට්ටුවට මාරු කරන ලෙස උපදෙස් දී ඇත. එහෙත් එම මාරු කිරීම ප්‍රමාදවීම නිසා කෝපයට පත් රෝගී කාන්තාවගේ පුතා විසි එකේ වාට්ටුවේ වෙද්‍යවරයෙකුගේ හිසට අතමිට මොලවා පහරදීමෙන් පසු පහර කෑ වෛද්‍යවරයාද එම රෝහලේ අංක පනස් අටේ වාට්ටුවට ඇතුළු වී තිබේ.

  වෛද්‍යවරයාට පහර දුන් සැකකරු කරාපිටිය රෝහල් පොලීසිය අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා ගාල්ල පොලිසිය වෙත භාර දී ඇත.

 මේ අතර පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා මේ පිළිබද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාට සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටියේ ශාඛාවටද පැමිණිලි කර තිබේ. සැකකාර තරුණයා ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දෙවැනිවරට පෙනී සිටීමට සුදානම් වන සිසුවකු බවද පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත.