දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් කළු, කැළණි, ගිං ගංඟාවල ජල මට්ටම සහ අත්තනගලු ඔයේ ජල මට්ටමද ගංවතුර තත්වයක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. එමෙන්ම මහවැලි ගඟේ ද
ජල මට්ටම සුළු ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇත.
අයහපත් කාලගුණය මත අකුණු සැර වැදීම් සහ ගස්, පස් කඳු කඩා වැටීම හේතුවෙන් 8 දෙනෙකු මියගොස් ඇත.
මේ වන විට දිස්ත්‍රික්ක 14 ක පවුල් 5885 කට පමණ අයත් පුද්ගලයින් 22,777 දෙනෙකු පමණ  පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වර්ෂාවත් සමඟ ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 11 කට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය, මහනුවර, බදුල්ල, මාතලේ, ගාල්ල, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක එ් අතර වනවා.


කැලණි ගඟේ ගංවතුර මට්ටමක් ඇතිවීම දක්වා පැමිණීම හේතුවෙන් සීතාවක, කඩුවෙල හා කොළොන්නාව ප්‍රදේශවල පහත්බිම්වල ගඟ දෙපස ජනතාව ඉවත් කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන ඇතැයි වාර්තාවේ.
අද සවස 6.00 පමණ වන විට එම ප්‍රදේශවලින් පවුල් 200 ක් පමණ ඉවත් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.මේ වන විට පවුල් 121ක් පීඩාවට පත්ව තිබෙන බවද වාර්තා වේ.
කැලණි ගඟ ආසන්නයේ සිටින වැල්ලම්පිටිය, මුල්ලේරියව ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථානවෙත පිටත්ව යන ලෙසට පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් උපදෙස් ලබා දී තිබේ.
පොලීසිය සඳහන් කළේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව ආරක්ෂත ස්ථාන 24 ක් ස්ථාපිත කර ඇති බවයි.
කැලණි ගඟේ නාගලගංවීදිය ජල මාපකය ආශ්‍රීත ජල මට්ටම මහ ගංවතුර ත්තවය ආසන්නය දක්වා ඉහළ යමින් ඇති බවද වාර්තාවී ඇත.


ගිං ගඟේ තවලම සහ බද්දේගම ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් රත්නපුර නගරය ආශ්‍රිතය මහ ගංවතුර මට්ටමට පත්වීමේ අවදානමක් ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
 රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 ක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.
අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත.
අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන, ඉහළ කොත්මලේ, කුකුළේගඟ, පොල්ගොල්ල සහ දැදුරු ඔය යන ජලාශවලද වාන් දොරටු විවෘත කර තිබෙනවා.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 ක් අද දහවල් විවෘත කෙරුණු අතර, මේ හේතුවෙන් මහවැලි ගෙඟ් ජල මට්ටම ඉහළ යා හැකි අතර ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු 4 ක් ක්‍රියාත්මක කර තිබෙනවා. දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 8 ක්ද, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද මේ වන විට විවෘත කර තිබෙනවා.
අලව්ව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව ප්‍රදේශයෙන් මාඔය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් තාවකාලිකව වසා දමා තිබේ.
අධික වර්ෂාවත් සමග ගිරිඋල්ල ප්‍රදේශයෙන් මාඔයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම දක්වා වර්ධනය වී ඇත.