පවතින ගංවතුර තත්ත්වය සමඟ වසංගත රෝග රැසක් පැතිරීමේ අවදානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය අනිල් දිසානායක පවසයි.

ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවත් ප්‍රාදේශීය හා පළාත් සෞඛ්‍ය සේවා අංශ සමඟ එක්වී ගත යුතු ක්‍රියාමාර්ග වසංගත රෝග විද්‍යා අංශය මේවන විට දියත් කර ඇති බවත් වෛද්‍යවරයා පැවැසුවේය.

පාචනය, චර්ම රෝග, ශ්වසන රෝග, මී උණ, ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් මෙන්ම මැස්සන් ආශ්‍රිතව පැතිරිය හැකි රෝගී තත්ත්ව රැසක අවදානමක් ඇති බවද ගංවතුර තත්ත්වයකදී මෙසේ රෝග පැතිර යෑම සාමාන්‍ය තත්ත්වයක් බවද ඔහු ප්‍රකාශ කළේය.

වැසිකිළි කැසිකිළි වතුරට

යටවීමෙන් මල අපද්‍රව්‍ය ජලය සමඟ මුසුවීම හරහා විවිධ රෝග හටගත හැකි බවද පාචනය, චර්ම රෝග ඒ අතර සුලබ රෝගී තත්ත්ව බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ළිං ජලය සමඟ මල අපද්‍රව්‍ය මුසුවීම වැනි හේතූන් නිසා පාචනය වැනි රෝග හටගෙන පැතිර යා හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ නිසා නටවා නිවා ගත් ජලය පානය කිරීමටත් ආහාර පිළියෙල කිරීමේදී ළිං ජලය පාවිච්චි කරන්නේ නම් ආහාර සඳහා නටවා නිවාගත් ජලය යෙදීමටත් වගබලා ගන්නා ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම අමු එළවළු, පලතුරු හා පලා වර්ග ආහාරයට ගැනීමෙන් වැළකීමත් නිතර පිස සකසා ගත් ආහාර භාවිතයත් ආහාර වර්ග නිතරම ආවරණය කොට වසා තබා ගැනීමත් සෞඛ්‍යාරක්ෂිත බව වෛද්‍යවරයා අවධාරණය කළේය.

විශේෂයෙන්ම කැසිකිළි වැසිකිළි භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් වතුරෙන් යටවූ ස්ථාන ප්‍රයෝජනයට නොගන්නා ලෙසත් වැසිකිළි කැසිකිළි යෑමෙන් අනතුරුව සබන් ගා අත සේදීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවන් කාලසීමාවලදී ඩෙංගු වැනි මදුරු පරිශ්‍ර බෝ විය හැකි තැන් විනාශ කොට පිරිසුදු කිරීමටත් විශේෂයෙන්ම ජලයේ බැස ඇවිද යෑම වැනි ක්‍රියාකාරකම් හරහා මී උණ වැනි රෝග බෝවීම මෙන්ම හදිසි අනතුරුද බහුල විය හැකි බව ඔහු පැවැසුවේය.
හර්ෂනී අර්සකුලරත්න