අද (21) පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය ලබන ජුනි 14 වැනිදා දක්වා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී එහි සභාපතිධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ එම නිලවරණයේ
සභාපතිධුරයට තරග වඳින නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබු රිට් පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සුරසේන සහ විනිසුරු අර්ජුන් ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. එම ආයතනයේ හිටපු ලේකකවරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග මහතා ගොනු කළ එම පෙත්සම් වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆසිසර් මුස්තාපා, එම අමංත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජීකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනකු නම් කර තිබේ.
පෙත්සම්කාර හිටපු ක්‍රිකට් ක්‍රීඩක නිශාන්ත රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා

සිටියේ තිලංග සුමතිපාල මහතා තුරග තරග සහ ක්‍රිකට් භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයකට සම්බන්ධ බැවින් ඔහු මේ නිලවරණයට තරග කිරීම නුසුදුසු බවත්, එබැවින් මෙම පෙත්සමට අදාළ අතුරු සහනයක් ප්‍රදානය කරන්නැයි ඉල්ලා සිටින බවය.
වගඋත්තරකරුවකු වන තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නවින් මාරපන මහතා කියා සිටියේ සුමතිපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවත්, ඔහු ඉදිරිපත් කර ඇති වත්කම් සහ බැරකම ලේඛනයේ මේ පිළිබඳ කිසිදු සඳහනක්
නොමැති බවත්ය. එසේම මෙම චෝදනා දැනටමත් මැතිවරණ කමිටුව විසින් සලකා බලමින් සිටින බවත්, තවමත් ඒ ගැන කිසිදු නියෝගයක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් නීතිඥ මාරපන මහතා කීය. එබැවින් මෙම පෙත්සම ඉවත දමන ලෙසද නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සකකරු සිය පෙත්සමේ පෙන්වා දී ඇත්තේ ලබන 31 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල, මහතාගේ නාම යෝඡනාව නීතියට පටහැනි බවයි. එසේම මෙම නිලවරණය සම්බන්ධයෙන් කටයුතු කිරිම සදහා ඉකුත් 19 වැනිදා පත් කළ මැතිවරණ කමිටුව ද එම ආයතන ව්‍යවස්ථාවට පටහැනි බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
එම නාම යෝජනාව මත තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා තරග කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව හා ක්‍රීඩා පනතේ ප්‍රතිපාදත උල්ලංඝනය වන බව පෙත්සකකරු පෙන්වා දෙයි.
නාමයෝජෙනා සම්බන්ධයෙන් තමන් ක්‍රිකට් ආයතනයේ මැතිවරණ කමිටුව විරෝධතා ඉදිරිපත් කළද එම කමිටුව විසින් සිය විරෝධතා නොසලකා හැර ඇති බවද එහි සඳහන් වේ. මේ හේතුවෙන් අදාළ පෙත්සම් විභාග කොට අවසන් තීරණයක් ලබා දෙන මෙන් තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරය සඳහා තරග කිරිම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද, ලබන 31 වැනිදායින් පසු වගඋත්තරකාර තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිධුරයේ කටයුතු කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් නීතිඥ නවීන් මාරපන මහතා පෙනී සිටියහ. සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කනග ඊස්වරන්, කාලිංග ඉන්ද්‍රතිස්ස. අලි සබ්රි, සිංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මරත්න සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජීය රාජරත්නම් මහතා පෙනී සිටියහ.