මිරිස් කුඩු මුහුණට ගසා ඝාතනය කර තිබූ  පුද්ගල මළ සිරුරක් 17දා උදෑසන  වැල්ලවාය පොලිස් නිලධාරීන් පිරිසක් සොයා ගෙන ඇත.

 

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් වෙහෙරයාය දෙමටත්ආර ප්‍රදේශයේ අලුවෙල වෙහෙරයාය මාර්ගය ආසන්නයේ මෙම මළ සිරුර තිබූ අතර මෙසේ මියගොස් ඇත්තේ  වෙහෙරයාය පදිංචිව සිටි ඩබ්ලිව්.පී. නිරෝෂන්  නමැති එක් දරු පියෙකි.

  රාත්‍රි නවයට පමණ මිතුරකුගේ නිවෙසේ අමතක වූ තම ජංගම දුරකථනය රැගෙන මිතුරාගේ යතුරුපැදියෙන්  ආපසු එමින් සිටියදී මෙම ඝාතනය සිදුවී තිබේ. ඔහු පැමිණ යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ අතර මියගිය පුද්ගලයාගේ මළ සිරුර ඊට නුදුරින් කැලවේ ගසක් යට තිබී හමු වී ඇත. යතුරුපැදිය නවතා මුහුණට මිරිස්කුඩු ගසා පහරදී මරා දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

  වැල්ලවාය පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. ජයරත්න මහතා අතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරික්ෂණ  පවත්වති.