වැඩි කළ බස් ගාස්තු අනුව අය කරන මුදල දැක්වෙන ප්‍රවේශ පත්‍රයක් ලබාදීම සහ ඉතිරි මුදල් හරියාකාර ලබාදීමට  අනිවාර්යයෙන්ම කළ යුතු යැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා කියයි.  බස් ගාස්තු ඉහළ යැමත් සමඟ මගීන්ගෙන් විවිධ ගාස්තු අය කර  ප්‍රවේශපත්‍ර ලබා
නොදී ඉතිරි මුදල් සඳහා  මාරු කාසි නැතැයි බොහෝ බස්රථ කොන්දොස්තරවරුන් මගීන්ට ප්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතාගෙන් කළ විමසීමේදී සභාපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

  පසුගිය 23දා ඉහළ දමන ලද

සියයට 12.5ක බස් ගාස්තුව සෑම රථයකම ප්‍රදර්ශනය කළ යුතු අතර අය කරන මුදලට ප්‍රවේශපත්‍රයක් ලබාදීම කළ යුතු බව තුසිත කුලරත්න මහතා කීවේය. ඊට අමතර රුපියල් දෙක, රුපියල, රුපියල් හතර පහ වැනි මාරු කාසිවලින් ආපසු ලබාදිය යුතු මගීන්ගේ ඉතුරු මුදල් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු අතර පසුව දෙන්නම් හෝ මාරු කාසි නැතැයි මගීන්ගෙන් වැඩිපුර කිසිම මුදලක් අය කළ නොහැකි බවද සභාපතිවරයා කීවේය.

 මෙසේ මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කිරීම, ප්‍රවේශපත්‍ර ලබා නොදීම හෝ මාරු කාසි නැතැයි වැඩි මුදලක් අය කරන පැමිණිලි වහාම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිට යොමු කරන ලෙසත් ඒ පිළිබඳව වහාම පරීක්ෂණ කර නීති මඟින් කටයුතු කරන බවද තුසිත කුලරත්න මහතා කීවේය.  බස් ගාස්තු ඉහළ දැමීමේදී මගීන්ට ලබා දෙන සේවාවද ගුණාත්මකව ඉහළ යා යුතු බැවින් අධික ලෙස මගීන් පැටවීම, කොට  කොටා ධාවනය වැනි මගී පීඩා පිළිබඳවද බස් මගීන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත පැමිණිලි කළ හැකිය.