පිටිගල, මත්තක ප්‍රදේශයේ බාලවයස්කාර දැරියන් වන අක්කාගේ දියණිය හා මල්ලිගේ දියණිය දූෂණය කර එයින් එක් දැරියක ගැබිනියක කළ බව කියන දැරියන්ට මාමා සහ බාප්පා වන අයකු 2018 මැයි මස 24 වැනි
දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මිගහගේ මහතා පෙරේදා (5) නියෝග කළේය.

  මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පන්සල අසල, මනංගල, මත්කක ලිපිනයේ පදිංචි 49 හැවිරිදි අයෙකි. සැකකරුගේ සහෝදරිය විසින්

පිටිගල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ පිටිගල පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂිකා නිල්මිණී සහ කාන්තා පොලිස් සැරයන් චන්ද්‍රිකා යන මහත්මීන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

  දුෂණයට ලක්ව ඇති දැරියන් දෙදනාම 13 වැනි වියේ පසුවන අතර ඔවුන් පිටිගල ප්‍රදේශයේ ජනප්‍රිය විදුහලක 09 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන බව පිටිගල පොලිසිය කියයි. උදරයේ ඇති වූ අසනීප තත්වයක් මත සැකකරුගේ වැඩිමහල් සහෝදරියගේ දියණිය මීට සතියකට පමණ පෙර ප්‍රතිකාර සඳහා නියාගම ප්‍රදේශයේ රජයේ රෝහලකට යොමු කර ඇත, එහිදී දැරිය ස්කෑන් පරික්ෂණයකට භාජනය කර ඇති අතර දැරිය මාස 2 1/2ක ගැබිනියක් බවට තහවුරු වී තිබේ. පසුව දැරියගේ මව මේ සම්බන්ධයෙන් පිටිගල පොලීසියට පැමිණිලි කර ඇත.

  දැරියන් දෙදෙනාටම එකිනෙකාට හොර රහසේ මරණ බවට තර්ජනය කර කාලයක් තිස්සේම දූෂණය කර තිබෙන බව පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. දැරියන් දෙදෙනාම ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය වාර්තවක් ලබා ගැනීමටද පිටිගල පොලීසිය කටයුතු කර ඇත.