අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ ජාතික පාසලක් තුළට පිටරට නිෂ්පාදිත මිල අධික මත්පැන් බෝතලයක් පාසල් පොත් බෑගයේ සඟවාගෙන පාසල තුළට රැගෙන ඒමට උත්සාහ කළ නව වැනි ශ්‍රේණියේ සිසුවකු විද්‍යාලයේ ගුරුවරයකු විසින් අල්ලා ගැනීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා විය.

   නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවාගේ පොත් බෑගය පිළිබඳව සැක සිතූ ගුරුවරයකු බෑගය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ රුපියල් දස දහසක් පමණ වටිනා පිටරට නිෂ්පාදිත මත්පැන් බෝතලය (විස්කි) හමුවී තිබිණි.

   

පාසල් සිසුවාගෙන් ඒ පිළිබඳව ගුරුවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ පවසා ඇත්තේ නිවසේ ශීතකරණයේ තිබූ මත්පැන් බෝතලය මිතුරන්ට පෙන්වීම සඳහා රැගෙන ආ බවයි. එය ඔවුන්ට පෙන්වීමෙන් අනතුරුව නැවත නිවෙසට රැගෙන යෑමට ගෙනා බවත් එය පානය කිරීම සඳහා නොගෙනා බවත් ඔහු ගුරුවරයාට පවසා තිබිණි. ගුරුවරයා විසින් අත්අඩංගුවට ගත් වටිනා මෙම මත්පැන් බෝතලය විදුහල් පරිපාලනයට යොමු කිරීම සඳහා කටයුතු කර තිබෙන අතර දරුවා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මවුපියන් අද (08දා) දිනයේ විද්‍යාලයට කැඳවීමට නියමිත බව වාර්තා විය.

    ගුරුවරයාගේ අත්අඩංගුවට පත් වූ සිසුවා මත්පැන් බෝතලය මිතුරන් සමඟ පානය කිරීමට රැගෙන එන්නට ඇති බවට සැක කරන අතර නිකරුණේ මත්පැන් බෝතලයක් පාසලට ගෙන ඒමට කිසිදු සිසුවකුටම අවශ්‍යතාවක් නැති බව ගුරුවරු පිරිසක් අවධාරණය කළහ.

   පසුගිය කාලයේ විද්‍යාලයේ අධ්‍යාපන මට්ටම ඉහළ තත්ත්වයක පැවැතියත් විද්‍යාලයේ විනය දිනෙන් දින පිරිහීයෑම සිදුවන බවට විද්‍යාලයේ ගුරුවරු පිරිසක් පැවැසූහ.