දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා මේ වනවිට පසුවන්නේ 76 වෙනි වියේ ය. පසුගිය දිනවල ඔහු ලෝක ජනමාධ්‍ය තුළ පුවත් මවන්නෙකු බවට පත්ව සිටියේ වංචා දූෂණ චෝදනා නිසා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදුවීම නිසාය. නමුත් මේ දිනවල ඔහු නැවතත්  පුවත් මවන්නෙකු බවට පත්ව සිටින්නේ ඊට
හාත්පසින්ම වෙනස් කාරණයක් හේතුවෙනි. එනම් ඔහු නැවතත් විවාහ වීමට යන බවට පලවෙන ආරංචියයි.  මෙය ඔහුගේ සත්වෙනි විවාහය නිසා මේ පිලිබඳ විශාල මාධ්‍ය අවධානයක් යොමු වෙමින් ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි. මෙම කතාවෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔහුගේ සත්වෙනි බිරිඳගේ වයස අවුරුදු 24 ක් බව වාර්තා වීමයි.  මේ අනුව ඔවුන් දෙදෙනා අතර වයස පරතරය අවුරුදු 52 කි. ඇය සූමාගේ ලාබාලතම බිරිඳ වනු ඇති බවද පැවසේ.
සූමා මේ වනවිට සය වරක් විවාහ වී තිබේ. ඔහු සූලු (Zulu)  ගෝත්‍රික ජනයා අතර පවතින බහු විවාහ සම්ප්‍රදාය පිලිගන්නා කෙනෙකු ලෙස ද සැලකේ. ඔහුගේ පළමු විවාහය සිදු වූයේ 1973 දීය. ඒ වනවිට ඔහු සිරගෙදරින් නිදහස ලබා පැමිණ ගතව තිබුණේ වසරක කාලයකි. සූමා දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි සටනේ පෙරමුණේ සිටි නායකයෙකු වූ අතර නෙල්සන් මැන්ඩෙලා මෙන්ම  දිගු කලක් සිර දඬුවම් විඳිමින් සිටියේය. ඔහුගේ පළමු බිරිඳ වූයේ සිසකෙ‍ලේ  කුමාලෝ ය. ඊට වසර තුනකට පසු 1976 දී ඔහු සිය දවෛනි බිරිඳ සමග විවාහ විය. කේට් මන්ත්ෂෝ නම් වූ ඇය  2000 වසරේ සිය දිවි නසා ගත්තාය.

ඒ නිදිබෙහෙත් සහ මැ‍ලේරියාව සඳහා ලබා දෙන බෙහෙත් වාගයක් අධික මාත්‍රාවෙන් ගැනීමෙනි. එයට හේතු වූයේ ඇය විෂාදය (depression) නැමැති මානසික ආබාධයෙන් පෙලෙමින් සිටීම බවද අනාවරණ වූ අතර ඒ වනවිට ඇය සහ සූමා අතර විවාහය තුළ විවිධ ප්‍රශ්ණ උත්සන්න වෙමින් තිබූ බවද සඳහන් විය.
සූමා සිය තවෛනි බිරිඳ සමග විවාහ වූයේ 1982 වසරේ ය. ඇගේ නම න්කොසසානා ද්ලාමිනි ය. 1998 වසරේ දී ද්ලාමිනි ද සූමාගෙන් දික්කසාද වූවාය. නමුත් තවමත් ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් ලෙස ඇසුරු කරන බව සඳහන් වෙයි. තමාගෙන් පසු ද්ලාමිනි දකුණු අප්‍රිකාවේ ජනාධිපති පදවියට ගෙන ඒමට සූමා බලා‍පොරොත්තුවෙන් සිටි බවද රහසක් නොවේ.

සූමා ගේ විවාහයන් අතරින් වඩාත්ම ආන්දෝලනාත්මක එකක් ලෙස සැලකෙන්නේ 2008 සිදු වූ නොම්පුමෙලෙලෝ න්ටුලි සමග විවාහය යි. මෙම විවාහය ආන්දෝලනාත්මක එකක් වූයේ ඇය සූමාට වස දී ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කාරියක වූ බවට චෝදනා එල්ල වීම නිසාය. මෙම තත්ත්වය තුළ පසුව සූමා ඇයගෙන් වෙන්ව ජීවත් වූ බව සඳහන් වෙයි.

2010 සහ 2012 වසරවල ඔහු තවත් බිරියන් දෙදෙනෙකු සරණ පාවා ගත්තේය. ඒ පිලිවෙලින් තොබේකා මදිබා සහ ග්ලෝරියා න්ගෙමා යන දෙදෙනායි. දික්කසාද වූ ද්ලාමිනි සහ දිවි නසාගත් කේට් මන්ත්ෂෝ හැරුණු විට ඉතිරි සිව් දෙනාම තවමත් සූමාගේ බිරියන් ලෙස සිටිති. ඒ අනුව මේ වනවිට ඔහුට නිල වශයෙන් බිරියන් සිව් දෙනෙකු සිටින අතර දැන්  විවාහ වීමට යන නොන්කැනිසෝ කොන්කෝ පස්වැන්නිය බවට පත් වේ. කොන්කෝ සහ සූමා අතර සම්බන්ධය පවතින්නේ 2013 වසරේ පමණ සිට බවද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. එය සත්‍යයක් නම් ඒ වනවිට කොන්කෝගේ වයස අවුරුදු 19 ක් පමණ වන්නට ඇත. ඇය ඒ කාලයේ පටන්ම නිතර සූමා සමග කාලය ගත කළ බවද පැවසේ.
මේ අතර සමහර පුවත්පත් සහ වබේ අඩවි වාර්තා කර තිබුණේ පසුගිය දිනෙක ඇය දරුවෙකු ද ප්‍රසූත කළ බවට තොරතුරු ඇති බවයි. මේ දරුවා බිහිව ඇතැයි පැවසෙන්නේ සූමාගේ ද උපන් දිනය යෙදෙන අප්‍රේල් 12 වෙනිදා ය. කෙසේ වෙතත් සූමා ගේ ඉහත කී විවාහයන් මගින් මේ වනවිට ඔහුට දරුවන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව පැවසේ.
නොන්කැනිසෝ කොන්කෝ සූලු ගෝත්‍රයේ සංස්කෘතිය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වන කෙනෙකු ලෙස සැලකෙන අතර ජේකබ් සූමාද මෙම සංස්කෘතියට සහ සම්පදායන්ට බෙහෙවින් ගරු කරන්නෙකු බව පැවසේ. පසුගිය කාලයේ කොන්කෝ දකුණු අප්‍රිකානු තරුණ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන සමාජ සේවා ආයතනයක රැකියාවක් කරමින් සිටි අතර මේ වනවිට ඇය එයින් ඉවත්ව ඇති බව සඳහන් වෙයි. .ජේකබ් සූමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2009 වසරේ ය. එකල ඔහු ඉතාම ජනප්‍රිය නායකයෙකු විය. 2014 දී ඔහුගේ පළමු ධුර කාලය අවසන් වූ අතර නැවත එම වසරේ පැවති මැතිවරණයෙන් ජයගෙන දවෛනි වරටත් ජනාධිපති පදවියට පත්වීමට ඔහුට හැකි විය. කෙසේ නමුත් පසුකාලයේ ඔහුගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් දිය වී යාමට පටන් ගත්තේ දිගින් දිගටම එල්ල වන්නට පටන් ගත් වංචා දූෂණ පිලිබඳ චෝදනා හේතුවෙනි. ඒ අතර ප්‍රධානම වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක අවි ගණුදෙනුවකට සම්බන්ධ චෝදනා වාගයකි. මෙම ගණුදෙනුව හා බැඳුණු චෝදනා 19 ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට එරට නීති අංශ කටයුතු කරමින් සිටියි. මෙයට අමතරව මුදල් විශුද්ධිකරණය  හා බැඳුණු තවත් චෝදනා 700 කට ආසන්න සංඛ්‍යාවක් ඔහුට එරෙහිව එල්ල වී තිබේ. එමෙන්ම ගුප්තා පවුල නමින් හැඳින්වුණු ව්‍යාපාරික පවුලක් සමග සූමා සහ ඔහුගේ පවු‍ලේ අය පැවැත්වූ සබඳතා පිලිබඳව ද විවිධ චෝදනා එල්ල වෙයි. මෙම සබඳතා හරහා ගුප්තා පවු‍ලේ උදවිය රජයේ කටයුතුවලට පවා ඇඟිලි ගැසීමට අවස්ථාව උදා කරගෙන ඇති බවටද, ඒ හරහා ඔවුන්ගේ ව්‍යාපාරවලට වාසිදායක තත්ත්වයන් ඇති කරගෙන තිබෙන බවටද චෝදනා නැගෙන අතර මේ තුළින් සූමාට ද වාසි හිමිව ඇති බව සඳහන් වේ.
ඔහුගේ දවෛනි ධුර කාලය අවසන් වීමට තිබුණේ ලබන වසරේ වුවත් එයට කලින් සූමාට ධුරයෙන් ඉවත් වීමට සිදුවිය.
එයට හේතු වූයේද වංචා දූෂණ පිලිබඳ එල්ල වූ චෝදනා හේතුවෙන් රට තුළින් මෙන්ම ඔහුගේ පක්ෂය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසය තුළින් ද එල්ල වූ බලපෑම්ය. ඔහු තවදුරටත් ජනාධිපති ධුරයේ සිටියහොත් පක්ෂයේ ජනප්‍රියත්වය තවත් පහත වැටෙනු ඇති බවටද, ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයේදී එය අවාසි සහගත බලපෑමක් කරනු ඇති බවටද අදහස් මතු විය. මේ ආකාරයෙන් ගොඩ නැගුණු පීඩනය හමුවේ ඔහුට පසුගිය පෙබරවාරි මාසයේ ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේය. සූමාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ධුරයට පත් වූයේ කලින් උප ජනාධිපති ධුරය දැරූ සිරිල් රමෆෝසායි.

කිත්සිරි මල්වත්ත (lakbima)