මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන   "නිවසක් වෙනුවට ජීවිතයක්"  නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ කොළඹ නගරයේ  පැල්පත්
නිවාස වල පදිංචි අඩු ආදයම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකල නව නිවාස 20,000ක් ඉදිරි වසරක කාලය තුලදී ජනතා අයිතියට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

ඊයේ (23) උදෑසන කොළඹ 15,  හේනෙමුල්ල "මෙත්සද සෙවණ" නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 722ක් ජනතා අයිතියට පත් කල අතර ඒ සමඟ 2016 වසරේ සිට මේ දක්වා නව නිවාස 3,429ක් ජනතා අයිතියට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සමත්වී තිබේ.

 ​2016 - 2017 වර්ශ වලදී රුපියල් මිලියන 9080ක් ආයෝජනය කර නව නිවාස 2,270ක් ජනතා අයිතියට පත් කල නාගරික සංවර්ධන අධිකාරිය 2018 වර්ශයේදී  රුපියල් මිලියන 44,515 ආයෝජනය කර නිවාස ඒකක 8903ක් ජනතා අයිතියට පත්කිරීම සදහා කටයුතු කරමින් සිටියි.

එසේම තවත් නිවාස 9,904ක් ඉදිකිරීම සදහා රුපියල් මිලියන 49,520ක් ආයෝජනය කර ඇති අතර සියලූ ව්‍යාපෘතීන් අවසන් වන විට අමාත්‍ය චම්පික රණවක මහතාගේ අධීක්ෂණය යටතේ  නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2020 වසරට පෙර ජනතා අයිතියට පත්කරනු ලබන සම්පූර්ණ නිවාස ඒකක ගණන 20,000 ඉක්මවනු ලබයි.
කොළඹ නගරයේ යටින් ඇති ගඳ ගහන යථාර්ථය වෙනස් නොකර උඩින් මල් පෝච්චි තැබිමෙන් පලක් නොවන බව අමාත්‍යවරයාගේ මතයයි.

අඩු ආදයම්ලාභි පැල්පත් නිවාසවල ජනතාවට ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි නව නිවසක් ලබාදීම හරහා  එම ජනතාවගේ ජීවන මට්ටම් උසස් කිරීම තුලින් කොළඹ නගරයට යහපත් අනාගතයක් උදා වනු ඇත.

නව නිවාස ලාභීන්ට අලූත් නිවසක් සමගම අලූත් ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අවශය සියළු වැඩපිළිවෙල සහ පහසුකම් සැපයීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරයි.

එම නිවාස වල ජීවත්වන දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීම, කාන්තාවන්ට ස්වයං රැකියා  සඳහා අවශ්‍ය මාර්ගෝපදේශණය සැපයීම සඳහා විශේෂ වැඩසටහන් රැසක්ද දැනට ජනතා අයිතියට පත්වූ නිවාස ව්‍යාපෘති තුල ක්‍රියාත්මක වෙමින් තිබේ.

තවද නිවාස සංකීර්ණයෙන් වෙන් වූ කළමනාකරණ කමිටු පත් කිරීම, නිවාස සංකීර්ණ අසල ක්‍රීඩා පිටි, ප්‍රජා  ශාලා සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් අංග සම්පූර්ණ ව්‍යාපෘතියක් බවට පත් කිරීමට කටයුතු කර ඇත. ඒ හරහා කොළඹ නගරය තුල තවත් උප නගර පහක් නිර්මාණය කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ අරමුණයි.

රාජ්‍ය බලය යොදවා බලහත්කාරයෙන් කොළඹ  පදිංචිකරුවන් එළවා දමා ඒ මත සුන්දර මල් උයන් නිර්මාණය කරනු වෙනුවට දීර්ඝ කාලීන සැලසුමකට අනුව ක‍්‍රමානුකූලව කොළඹ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සදහා ක්‍රියාත්මක  වන  "නිවසක් වෙනුවට ජීවිතයක්" ව්‍යාපෘතිය මහනගර සංවර්ධනයේ සැබෑ අරමුණු හදුනාගත් මිනිසෙකුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන  අනාගත කොළඹ ජනතාවගේ ජීවන ප්‍රබෝධයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියයි.