මීට අවුරුදු 20 කට පමණ පෙර වර්ෂ 1998දී බටහිර රාජස්ථාන්හිදී හම් සාත් සාත් හයිම් නමැති චිත්‍රපටයක් රූගත කිරීම්වල යෙදෙමින් සිටියදී මුවන් දෙදෙනකු දඩයම් කිරීමේ චෝදනාවට වරදකරුවකු වූ බොලිවුඩ් සුපිරි
නළු සල්මන් ඛාන්හට වසර පහක සිරදඬුවමක් රාජස්ථාන ප්‍රාන්තයේ පෝද්පූර් අධිකරණය නියම කොට තිබේ.
එම සිද්ධියට සම්බන්ධ නළු නිළියන් හතර දෙනකු වන සයිෆ් අලි ඛාන්, තාබු, සොනාලි බෙන්දා සහ නීලම් චෝදනාවලින් නි‍දොස් වුවත් සල්මන් කාන්ට බේරෙන්නට නොහැකි විය.
අධිකරණ නියෝගවලට අනුව සල්මන් ඛාන්ට වසර පහක සිරදඬුවමට අමතරව ඉන්දීය රුපියල් දස දහසක

දඩයක් පනවා තිබේ.
එම නියමය අනුව ඔහු ඊයේම බන්ධනාගාරගත කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
එම අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සල්මන් ඛාන්ට අවස්ථාව ඇති බවත් මේ නිසා දින කිහිපයක් ඔහු සිරගතව සිට එම අභියාචනය පෙන්වා අදාළ ඇප ලබා නිදහස් වනු ඇති බවත් කියැවේ.
 පනස් දෙහැවිරිදි සල්මන් ඛාන් මීට පෙර 2002 දීද පුද්ගලයකු වාහනයකට යටකර මරා දැමීම පිළිබඳ චෝදනාවක් එල්ලවූ අතර දීර්ඝ කාලයක් නඩුව විභාග කර සාක්ෂි නොමැතිවීම මත වසර 2015දී  නිදහස් කරන ලදී.
මුවන් දෙදෙනකු මැරීම පිළිබඳ චෝදනාව ඔහුට එල්ල කරන ලද්දේ එම වර්ගයේ සතුන් පූජත්වයෙන් සලකන බිෂ්නොයි ප්‍රජාව විසිනි.
මෙය ආරක්ෂිත සත්ත්ව වර්ගයක් ඝාතනය පිළිබඳ සල්මන් ඛාන් හට පැවරූ හතරවැනි නඩුව බව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. පෙර පැවැති නඩු තුනෙන්ම ඔහු නිදහස් විය.