පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ දී ළමුන් තෝරා ගැනීමට අදාළ තොරතුරු තවදුරටත් විනිවිදභාවයකින් යුක්තව ජනතාවට අනාවරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමිනි.

2019 සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේ චක්‍රලේඛය පිළිබඳ සහ ක්‍රමවේද පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ අතර ලකුණු ලබාදීමේ ක්‍රමවේද සහ තෝරාගත්

දරුවන් පදිංචිව සිටින ස්ථානයන් පිළිබඳ විස්තර මෙන්ම පුද්ගලිකත්වයට ගැටලුවක් ඇති නොවන දරුවන්ගේ සුදුසුකම් සම්බන්ධ සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේදී සිදු කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා වළක්වාලීමේ අරමුණින්ය.

ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන යොදාගනිමින් දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම සදහා ඇතැම් මාපියන් කටයුතු කිරීම හේතුවෙන් නිසි සුදුසුකම් සපුරන ලද පාසල් අවට ජීවත්වන දරුවන්ට අසාධාරණයන් සිදුවන බවට ලද පැමිණිලි මෙහිදී විශේෂ අවධානයට ලක්ව තිබේ.

මීට අමතරව පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛයෙහි සුළු සංශෝධන කිහිපයක් සිදු කිරීමටද අවධානය යොමුව ඇත. ඒ විහාර දේවලගම් පනත,තෑගි ඔප්පු සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමිනි.