ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙරණ නාලිකාවේ ‘දෙවන ඉනිම‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වූ බිමල් ජයකොඩි රඟපෑ රවී ප්‍රනාන්දුගේ චරිතය එම කතාවෙන් ඉවත් කිරීම සම්බන්ධ විවිධ කටකතා පැතිර තිබේ.
ඔහු පසුගිය දිනවල ටෙලිනාට්‍යයේ අඩුවෙන් පෙන්වීම සිදුවූ අතර හිටිහැටියේ විදෙස් රටකදී ඔහු මරණයට පත්වූ බව හඟවා කතාවෙන් ඉවත් කර තිබේ.

කතාවේ ප්‍රධාන චරිත ගණනාවකට සම්බන්ධ කරමින් රවීගේ චරිතය ගොඩනැගී තිබීම නිසා මෙම ඉවත්වීම සමග එම කතාව වෙනත් දිශාවකට යොමු කරන්නට සිදුවනු ඇති අතර ප්‍රේක්ෂකයින් කුතුහලයෙන් බලාසිටි කතාවේ ඇතැම් ඉදිරි අවස්ථා අනපේක්ෂිත ලෙස අතුරුදන්වීමකට ලක්වනු ඇත.
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය ආරංචියකින්  කියැවුනේ රවීගේ චරිතය කතාවෙන් ඉවත් කිරීම එම රංගනය සිදු කළ බිමල් ජයකොඩි තමන්ට වෙනත් ටෙලිනාට්‍යයක වැඩ තිබීමත් ගිවිසුම්

ගතවූ කොටස් 300 ට එහා රඟපෑම ඔහු අකමැත්ත පළකිරීමත් නිසා මෙම සිද්ධිය සිදුවූ බවකි. තවත් ආරංචියකින් කියැවුනේ තරගකාරී නාලිකාවක් විසින් එම නළුවාට මුදල් විසිකර කතාව අවුලට පත් කරන්නට දැරූ උත්සාහයක් ලෙසිනි.
කෙසේ වෙතත් මෙම වෙනස සම්බන්ධයෙන් තවම රංගන ශීල්පී බිමල් කිසිවක් ප්‍රකාශ කර නැත.
නමුත් ටෙලි නාටකයෙහි නිර්මාණ කරු සාරංග මෙන්ඩිස් පවසන්නේ මෙය ඔවුනගේ දීර්ඝ කාලීන සැලසුම අනුව හිතාමතාම කළ චරිත ඉවත් වීමක් බවත් රවීගේ චරිතය මේ ආකාරයට අවසන්වීම කල් ඇතිව සැලසුම් කර තිබූ බවත්ය.
කතාවේ තේමාව අනුව රවීගේ ඉවත්වීමෙන් පසු සිදුවිය හැකි දේවල් ගැනද සැලසුමක් ඇතිව රූගත කිරීම් සිදු කරන්නට යොමුවී ඇති බවත් කියන ඔහු පැතිරෙන කටකතා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු පවසන්නේ නළුවාගේ ප්‍රශ්නයක් නිසා මෙම වෙනස සිදුවූයේ නම් වෙනත් නළුවෙකු යොදා ඉතිරිය කරන්නට වුවත් ඔවුනට හැකියාව තිබෙන නමුත් එසේ නොකළේ පූර්ව සැලසුම අනුවම සියල්ල සිදුවූ නිසා බවයි.