අනාරක්ෂිත VPN භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා දන්වයි.

පසුගිය දිනවල ෆේස්බුක් ඇතුළු

සමාජ ජාලා අක්‍රීය කිරීමට රජය ගත් තාවකාලික පියවර තුළ ඇතැමුන් විකල්පයක් ලෙස VPN ජාලයක් සක්‍රීය කරගෙන ඒ ඔස්සේ එකී සේවාවන්ට සම්බන්ධ විය. මෙහිදී ලංකාවේ අයීපී ලිපින වෙනුවට වෙනත් රටවල අයීපී ලිපින අන්තර්ජාලයට යොමුවන නිසා රජය සිදුකළ අවහිරතාව මගහැරිණි.
නමුත් උමගක් ලෙස භාවිත වන VPN ජාල ගැන හරි අවබෝධයකින් තොරව ඒවා භාවිත කළ අයට එම උමගේ හිමිකරුවන්ට සියලු රහස්‍ය දත්ත ලැබෙන බව හා අනාරක්ෂිත බව ගැන වැටහීමක් තිබුනේ නැත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දත්ත අනුව පුද්ගලයින් 880,000ක පමණ පිරිසක් මෙලෙස VPN භාවිත කර තිබේ.
මෙලෙස VPN භාවිත කිරීම තුළින් තමන්ගේ පෞද්ගලික තොරතුරු මෙන් ම බැංකු තොරතුරු ද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අසේල වෛද්‍යලංකාර මහතා දන්වයි.
මෙම අනාරක්ෂිත බව ගැන අනතුර මතුවිය හැක්කේ ඉදිරි දිනවලදී බවද ඔහු අනතුරු අඟවන අතර අදාළ ඇප් ඉවත්කරගන්නා ලෙසත් රහස්‍ය පද යොදා තිබේනම් ඒවා මාරු කරගන්නා ලෙසත් උපදෙස් දෙයි.