මහනුවර, පුජාපිටිය මැදවෙල රජමහා විහාරයේ පුස්තකාලය බිඳ පන්සිය පනස් ජාතකය ලියා තිබූ පුස්කොළ පොත හා ධර්ම ග්‍රන්ථ සටහන් කර ඇති පුස්කොළ පොත් රැසක් සොරාගෙන ගොස් ඇත.

ඉකුත් 20 දා මෙම සිද්ධිය වී

ඇති අතර 21 දා පුජාපිටිය පොලිසියට පැමිණිලි කර ඇත. මෙසේ සොරාගෙන ඇති ධර්ම ග්‍රන්ථ වසර 800 කට වඩා පැරණි ඒවා බව මැදවෙල රජමහා විහාරයේ විහාරාධිපති දෙහිගම චන්දරතන හිමියෝ ප්‍රකාශ කළහ.

 විහාරාධිපති හිමියන්ට අමතරව තවත් එක් හිමිනමක් එදින විහාරස්ථානයේ වැඩ වාසය කර ඇත. පුස්තකාලය විහාරස්ථානයේ ධර්මශාලාවේ. ඉහළ මහළේ පවත්වාගෙන ගොස් ඇති අතර මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් රජමහා විහාරයේ තොරණ සකස් කිරීමේ කටයුතු සඳහා විසිවැනිදා රාත්‍රියේ විහාරස්ථානයට එක් රැස් වු පිරිසක් පුස්තකාලයේ ජනේලයක් බිඳ ඇති  බව ස්වාමින් වහන්සේට දැන්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ පරීක්ෂා කර ඇත,

සොරුන් පුස්තකාලයේ ජනේලයෙන් පුස්තකාලයට ඇතුළු වී පුස්තකාලයේ කබඩ් එකක අගුල කඩා එහි තිබූ පන්සිය පනස් ජාතකය ලියා තිබූ පුස්කොළ පොත හා ධර්ම ග්‍රන්ථ සටහන් කර ඇති පුස්කොළ පොත් රැසක් සොරාගෙන ගොස් ඇති බව එහිදී අනාවරණය වී තිබේ.  පූජාපිටිය පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.