ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ජපන් සංචාරය අතරතුර ඡායාරූප කිහිපයක පෙනී සිටීම මත ජනපති හා හිමියන් අතර පවතින සම්බන්ධයක් හා ඒ තුළින් ජාතිවාදී කලබල වලට ජනපතිගේ සම්බන්ධයක් ගැන විවිධ මාධ්‍ය වාර්තා පසුගිය දිනවල පළවිය.

ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නට ජනපති මාධ්‍ය අංශය අද 16 මාධ්‍ය නිවේදනයක් යොමු කර තිබේ. එය පහතින්


මාධ්‍ය නිවේදනය
ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ‍්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප‍්‍රවෘත්ති බව දන්වා සිටිමු.
ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සදහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සදහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත.
එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිතුමාගේ දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටිමු.


ජනාධිපති මාධ්‍ය අංශය
2018-03-16