ජේ ආර්ට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට,
මහින්දට අයත් වෙඩි නොවදින රථ
කේපීට අයත් නැවක්

ගිල්වා විනාශ කෙරේ


පසුගිය යුද සමයේ මෙරට ජනපතිවරුන් භාවිත කළ ඉහළ වටිනාකමින් යුත් වෙඩි නොවදින රථ හාජීප් රථ 8 ක් හා කොටි සංවිධානයට අයත් නෞකාවක් ඊයේ මීගමුවට ආසන්න මුහුදේදී විනාශ කරන්නට නාවික හමුදාව කටයුතු කර තිබේ.
මේවායේ සවිකර තිබූ සන්නිවේදන උපකරණ ඇතුළු වටිනා කොටස් ගලවා ඉවත් කිරීමෙන් පසු මෙලෙස ගිල්වා දැමූ බවද වාර්තාවේ.
යුද සමයේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ
යන මහත්ම මහත්මින් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් භාවිත කළ වාහන 25 ක් පමණ භාවිතයෙන් ඉවත් කර ගිල්වා දැමීමට සූදානම් කර තිබූ බවත් ඊයේ දිනයේ විනාශ කර ඇත්තේ ඉන් වාහන 8 ක් පමණක් බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග කියයි.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නාවික හමුදා වෙත ලබාදුන් මෙම වාහන 8 නාවික හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකා පටවා එම නෞකාවේ ගොඩයිම් සිට මීටර් 50-100 ක පමණ ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් සියලු වාහන මෙලෙස ගිල්වා දැමූ බවද නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ලුතිනන්

කමාන්ඩර් කේ.කේ.පී. උදයංග මහතා පැවසීය.

මෙම වෙඩි නොවදින රථ වෙන්දේසි කළ නොහැකි බවද එසේ කළහොත් ඒවා පාතාල සාමාජිකයන් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් අතට පත්වීමට ඉඩ ඇති හෙයින් එය වළක්වා ගැනීම සඳහා මෙලෙස ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට පියවර ගත් බවද පැවැසෙයි.

ගිල්වා දැමූ වාහන අතර තිබූ ”වෙලින්’නෞකාව එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ ප්‍රවාහනය කළ නෞකාවක් බවත් එය එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර නායකයකු වූ කුමරන් පද්මනාදන්ට (කේ.පී.) අයත් එකක් බවත් වැඩබලන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම නෞකාවේ ඉන්දුනීසියාවේ සිට නාවික හමුදාව මෙරට ගෙන්වා තිබූ එකකි.

එම නෞකාවේ නාවික හමුදා ද වසර කිහිපයක් පරිහරණය කර පසුව භාවිතයෙන් ඉවත් කළ බවද ලුතිනන් කමාන්ඩර් උදයංග මහතා පැවසීය. රංගල නාවික හමුදා කඳවුරේ නවතා තිබූ මෙම නෞකා ද ඊයේ වෙනත් නෞකාවකින් ගැඹුරු මුහුද වෙත ඇදගෙන ගොස් එයද සෙසු වාහන සමග ගිල්වා දැමූ බව නාවික හමුදාව කියයි. මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා කිහිප අවස්ථාවකදී මිල ගණන් කැඳවුවද එම සෑම අවස්ථාකදීම එයට හිමිව ඇත්තේ අඩු ලංසුවක් බැවින් එම නිසා එය මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබිණි.

වාහන හා නෞකා ගිල්වා දමන මුහුදු ප්‍රදේශයේ ඉදිරියේ කොරල්පර පද්ධතියක් හා මත්ස්‍ය ගහනයක් නිර්මාණය වූ බවද නාවික හමුදාව පවසයි.
භාවිතයෙන් ඉවත් කරන වෙඩි නොවදින රථ මෙලෙස මුහුදේ ගිල්වා දැමීම ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක් බවද පැවසේ.