හලාවත දරුවාගේ ඝාතකයා
අහම්බෙන් කොටුවූ හැටි


හලාවත, ඉරණවිල ප්‍රදේශයේ දී දස හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කර ඝාතනය කළ පුද්ගලයා
  මුලතිව්, කෝකිලායිහි නයාරු ධීවර ගම්මානයේ අත්හැර දමන ලද ධීවර වාඩියක සැකකරු සැඟවී සිටියදී ඊයේ (04) අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත් විය.
මෙම සැකකරු සම්බන්ධයෙන් ඡායාරූප පොලිස් ස්ථාන වලට නිකුත් කර තිබුණ අතර ධීවර ගම්මාන වල සැකසහිත පුද්ගලයින් අල්ලාගන්නට පොලිසිය විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
නයාරු ධීවර ගම්මානයේ ළගක සිට පිටස්තර පුද්ගලයෙකු පැමිණ සිටින බව ඉව වැටී
සැකකරු සම්බන්ධයෙන් පොලිසිය උනන්දු වීඇත්තේ මේ අතරවාරයේය.
ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී පදිංචිය කොහේදැයි ඇසූ විට හලාවත යයි වචන පටලමින් කථා කර ඇත. දරුවෙකු අපයෝජනය කළා නේදැයි පොලිසිය ඇසූ විට ඔහු බියට පත්වූ සෙයක් ඉරියව් වලින් දිස්වී තිබේ.


ගිරව් අල්ලා දෙන බව පවසා තමා හලාවත, ඉරණවිල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 10 හැවිරිදි දරුවා කැලයට රැගෙන ගොස් අතවර කළ බවත්, ඒ පිළිබඳව දරුවා සිය දෙමාපියන්ට පවසනවා යැයි කියූ නිසා දරුවාගේ ගෙල මිරිකා, පහරදී ඝාතනය කළ බවත් සැකකරු පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන ඇත. දරුවාගේ ඝාතනයෙන් පසු දින දෙකක් හලාවත ප්‍රදේශයේ ඔහු සැඟවී සිට දින හතරකට, පහකට ඉහතදී තමා මුලතිව් බලා එන බස් රථයක නැගී කෝකිලායි ප්‍රදේශයේ අතහැර දැමූ ධීවර වාඩියකට පැමිණි බව ඔහු පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත. තමා මීට පෙර මුලතිව් පැමිණ නැතැයි ද හෙතෙම පවසා තිබේ.

වැඩිදුර කළ ප්‍රශ්න කිරීමේදී මීට පෙර තවත් බාල වයස්කරුවන් කිහිප දෙනකුට අතවර කර ඇති බව ඔහු පාපොච්චාරණය කර ඇත. මෙම දරුවා රැගෙන යන අවස්ථාවේ තවත් දරුවෙකුද පැහැරගන්නට උත්සාහ කළත් එය බැරිව ගිය බවද ඔහු පවසා ඇත. මීට වසර කිහිපයකට පෙර හලාවත තානායම අසළ යාචක කාන්තාවකගේ දියණියක දූෂණය කර මරාදැමීමේ සිද්ධියටද මොහු සැක බව පොලිසිය කියයි.

මෙම සැකකරු ජුඩ් ෆොන්සේකා නමැති 52 හැවිරිදි දෙදරු පියෙකි. බිරිද මීට ඉහතදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඔහු හලාවත වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.