නොච්චියාගම වල්පලගම ප්‍රදේශයේදී කුඩා වතුර බැරලයක් තුළට වැටී මියගිය අවුරුදු දෙකක් වන ගොඩැල්ල පතිරගේ මයන්තා සදිසි දැරියගේ මරණ පක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් දැරියගේ ලොකු අම්මා වන සිරිපාලගේ නදීකා කුමාරී පැවැසුවාය. මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් නදීකා කුමාරි යන අය මෙසේ පැවැසුවාය.

          මියගොස් සිටින්නේ මගේ නංගිගේ බාලම දුව. නංගි ඒ දරුවා මට බලාගන්න කියලා උසාවියට ගියා. මම මගේ  දරුවයි නංගිගේ දරුවයි අපේ ගෙවල් අසල තියෙන අපි වැඩකරන ගඩොල් වැඩපොළේ තියාගෙන ගඩොල් කැපුවා. පසුව දවල් 11ට පමණ නංගි ඇවිත් එයාගේ දරුවා රැගෙන ගියා. මමත් මගේ දරුවන් අරගෙන ගෙදර ගියා. අපේ ගෙදරට එහා පැත්තේ තමයි නංගිගේ නිවෙස තියෙන්නේ. නංගි වඩේ වගයක් ගෙනත් තිබුණා. ඒ වඩේ මියගිය දරුවටත් දීලා බත් බෙදාගෙන අපේ ගෙදර ඇවිත් බත් කාලා දරුවත් අරගෙන එයාගේ ගෙදර ගියා. මමත් පිටුපස දොර වහලා මගේ වයස අවුරුදු දෙකක දරුවා නිදි කරමින් සිටියා. ටික වේලාවකින් නංගි ඇවිත් කීවා එයාගේ දරුවා නැහැ කියලා. මම ඉස්සරහා දොරින් පාරට ගිහින් පාර දිගේ ගියා දරුවා පාරට ගියාද බලන්න. පසුව ගමේ අයත් සමඟ

දරුවා හෙව්වා. ඒත් හමුවුණේ නැහැ. පසුව මම ගෙදර ඇවිත් ගේ පිටුපසට ගිහින් බලද්දී දැක්කා වතුර දාල තිබුණ කළු පාට බාස්කට් එකේ පිටත දරුවාගේ එක කකුලක් තිබෙනවා. දරුවාගේ ඔළුව බාස්කට් එක ඇතුළේ. වතුර යට තිබුණේ මම දරුවත් වඩාගෙන කෑගහගෙන පාරට ගියා. පාරේ සෙල්වරාණි යන අය හිටියා. මම එයාට දරුවා දුන්නා. එයා දරුවා වඩාගෙන පයින්ම දිව්වා. මගේ දරුවා සිටින නිසා මම ගෙදර නතර වුණා. දරුවා බාස්කට් එකට වැටිලා ඉන්නවා ඉස්සර වෙලාම දැකේ මම.
            සාක්ෂි ලබාදුන් මිය ගිය දැරියගේ මව වන සිරිපාලගේ මල්ලිකා කුමාරී මෙසේ පැවැසුවාය. මට දරුවන් තිදෙනෙක් ඉන්නවා. මියගොස් සිටින්නේ මගේ බාලම දියණිය. මගේ ස්වාමිපුරුෂයා අවුරුද්දයි මාස දෙකක පමණ කාලයක සිට ගෙදර එන්නේ නැහැ. ඒ නිසා මම නොච්චියාගම උසාවියේ නඩු දාලා තියෙන්නේ. මම නඩුවට ඉදිරිපත් වෙන්න උදේ අටට පමණ ගෙදරින් ගියා. නැවත මම ආවේ 11ට විතර ඇවිත් අක්කා ළඟ දාලා ගිය දරුවාත් රැගෙන ගෙදර ආවා. මම ගෙනාපු වඩේ පිඟානකට දාලා දරුවට කන්න දුන්නා. මමත් බත් බෙදාගෙන අක්කලාගේ ගෙදර ගිහින් බත් කෑවා. මම දැක්කා මියගිය දරුවා අක්කලාගේ පුතත් එක්ක අක්කලාගේ ගෙදර ඉඳන් වඩේ කෑවා.
            මෙම මරණ පරීක්ෂණය උතුරු විලච් කෝරලයේ හදිසි මරණ පරීක්ෂක නිමල් සේමසිංහ මහතා ඉදිරියේදී අනුරාධපුර මහ රෝහලේදී පැවැත්විණි.