අධිකරණ නියෝග නොසලකා හරිමින් රහස් පොලිසිය හමුවේ පෙනී නොසිටී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දුටු තැන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වරතුවක් ඊයේ (15) නිකුත් කළාය.

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියේ පළමු  සැකකරු වශයෙන් නම් කර තිබෙන විදෙස් රටක පදිංචිව සිටින ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මෙරටට පැමිණ රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා දෙකක දී අධිකරණය ලබාදුන් නියෝගය කඩ කිරීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරිය

සැකකරුට එලෙස වරෙන්තු නිකුත් කළාය.

මෙම සිද්ධියට අදාළව දැනට ඊමාන්ඩ් භාරයේ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් පිටස්තර පුද්ගලයින් සමග පැවැත්වූ සබඳතා සෙවීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
එම කරුණු මත රහස් පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය, අර්ජුන ඇලෝසියස් සහ කසුන් පළිසේන යන සැකකරුවන් සමග සබඳතා පැවැත්වූ පිටස්තර පුද්ගලයින් නිශ්චිතව හඳුනා ගැනීම සඳහා අදාළ දුරකථන ඇමතුම් පිළිබඳව සවිස්තරාත්මක වාර්තා ලබාදෙන ලෙස දුරකථන සමාගම්වලට නියෝග කළාය. බැඳුම්කර වංචා සිද්ධියට අදාළව දැනට රිමාන්ඩ්. භාරයේ සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන් මේ මස 29 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූලය සංවේදිතාවක් ඇති රහස්‍ය තොරතුරු මහ බකුවේ යම් යම් පාර්ශ්වයන් විසින් ලබාදී තිබේ යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ඉකුත් 2016 නොවැම්බර් 25 වැනි දා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව ඉකුත් පෙබරවාරි 02 වැනි දා රහස් පොලිසිය අධිකරණය වෙත ‘බී’ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව එහි සැකකරුවන් ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගම රහස් පොලීසිය විසින් නම් කෙරේ. අදාළ සැකකරුවන්ගෙන් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන දෙදෙනා ඉකුත් පෙබරවාරි 04 වැනි දින රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඔවුන් මේ වන තෙක් ඊර්මාන්ඩ් භාරයට පත් කර තිබේ.

මෙම සැකකරුවන්ට එරෙහිව සාවද්‍ය පරිහරණය, පොදු දේපළ විෂයයෙහිලා සිදු කරන වැරදි මෙන්ම කුමන්ත්‍රණය කිරීම. ඒවාට ආධාර අනුබල දීම සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතට ගැනෙන වැරදි සිදු කිරීම යනාදී කරුණු 07ක් යටත් රහස් පොලිසිය චෝදනා නගා තිබුණි.
අදාළ නඩුව ලබන 29 වැනි දා යළි කැඳවීමට නියමිතය.