අලුත් ආණ්ඩු හදන කතා ඉවරයි
අවසානයේ ශ්‍රිලනිප කොටසක් විතැන් වේ.
Inside Report

පසුගිය සතියේ පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලින් පොහොට්ටුව ජයගැනීමත් සමග ඇතිවූ දේශපාලන උණුසුම මත ආණ්ඩු වෙනස්වන කථිකාවන් කරළියට පැමිණි අතර ඊයේ ජනපතිවරයාගේ කතාව ‘කැන්සල්වී‘ ඒ වෙනුවට පැවති අගමැතිවරයාගේ මාධ්‍ය සාකච්ඡාවෙන් හෙළිවූ කරුණු අනුව මේ සියල්ල අවසන්වී තිබේ.
මෙම ප්‍රතිඵල සමග මුලින්ම කලබලයට පත්වූයේ ඉතා දුර්වල අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලබාගත් ශ්‍රිලනිප කණ්ඩායමයි. මහමැතිවරණයෙන්ද පරාජිතව මෛත්‍රී ජනපතිගේ පක්ෂපාතීත්වය නිසාම පාර්ලිමේන්තුව නියෝජනය කර පසුව ඇමතිවරුන් වූ කිහිපදෙනෙකු
ඇතුළු ශ්‍රිලනිප කණ්ඩායම තමන් පැරදුනේ එජාපය නිසා බවත් එජාපය සමග හවුල් ගනුදෙනු නැති බවත් පසුගිය ඉරිදා වනවිට ප්‍රතාශ කර තිබුණි.
ඒ සමගම එයට ප්‍රතිචාර ලෙස එජාපය පාර්ලිමේන්තුවේ 106 කි සිටින තමන් තව සුළු පිරිසක් සමග හවුලේ  තනි අලියා ආණ්ඩුවක් තනන බවට ප්‍රකාශ කර ඒ

වෙනුවෙන් කටයුතු කිරීම නිසා තත්වය උණුසුම් විය.

මේ වෙලාවේ පොහොට්ටුවට හිතවත් පිරිසගේ අදහස වූයේ ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණය කැඳවා මේ වාසි වෙලාවේ මහින්ද යළි අගමැති කළ යුතු බවයි.
දෙවනුව එජාපයේ තනි අලියා කතාව දුරදිග යන ස්වරූපයක් පෙන්නුම් කළෙන් සතිය මැද වනවිට පරාජිත ශ්‍රීලනිප කණ්ඩායම නිමල් සිරිපාල මුල්කර ආණ්ඩුවක් තනන්නට අත්සන් එකතු කළ නමුත් අවසානයේ බහුතර බලයක් පෙන්වන්නට හැකි තරම් අත්සන් ලැබී නැති බව මේ වනවිට වාර්තා වේ.

මෛත්‍රී ජනපතිවරයාට මහින්ද සමග එක්වීමට කිසිදු කැමැත්තක් නොවීමත් පළාත් පාලන මැතිවරනයේ රතු එළිය ආණ්ඩු පෙරළියක් ලෙස හඳුනාගැනීමට අවශ්‍ය නොවීමත් කල්පණා කර මල්වතු හිමියන්ගේ උපදෙස් හා අගමැති රනිල් සමග සිදු කළ කථාබහ අනුව අවසානයේ ජනපති පවතින ආණ්ඩුව දිගටම ගෙනයාමටත් ජනතාව ඉල්ලූ ප්‍රගතිශීලි වෙනස්කම් පක්ෂය හා කැබිනට් මණ්ඩලය තුළ ඇතිකිරීමටත් අදහස් කර ආණ්ඩු වෙනසක් නොකරන්නට තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ සිකුරාදා ජනපති ජාතිය ඇමතුවේ නැති අතර අගමැතිවරයාට මාධ්‍ය හමුවක් පවත්වා මේ දේවල් කියන්නට අවසරය ලැබිණි.

මෙම නව වෙනස්කම් අනුව කැබිනට් මණ්ඩලය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්වනු ඇති අතර කැබිනට් සංශෝධනය බොහෝ දුරට ඉදිරි සතිය තුළ සිදුවීමට නියමිත වේ.
සාගල රත්නායකගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත පැවරීමට නියමිත බව මේ වනවිට වාර්තා පළව තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා නායකත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කළ ශ්‍රිලනිප පිරිස උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසු ඉදිරි පාර්ලිමේන්තු දිනයක විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව ද වාර්තා වේ. ඔවුන් ඉදිරියේදී විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ තීරණය දැනුම්දීමටද නියමිතව තිබේ.