මාලදිවයිනේ දින 15 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් ක්‍රියා කළා.

ඒ ඔහුගේ රජය සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණය අතර ඇති වූ ගැටුමක් මධ්‍යයේයි.

සඳුදා (5) රාත්‍රියේ මෙම පියවර ගන්නා ලද අතර හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයූම් ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළ බව වාර්තා වුණා.



ගයූම් යනු යමීන්ගේ අර්ධ සොයුරා මෙන්ම වසර 30 ක් මාලදිවයින පාලනය කළ ජනාධිපතිවරයා යි. දැනට 80 හැවිරිදි වන ඔහු සහ යමීන් අතර පසුගිය සමයේ මත ගැටුම් ඇති වුණා.

මාලදිවයිනේ දේශපාලන අර්බුදය උත්සන්න වීමට බලපෑ ආසන්නතම හේතුව වූයේ පෙබරවාරි 2 වනදා විපක්ෂ දේශපාලන සිරකරුවන් නව දෙනෙකුට එරෙහිව වූ නඩු තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කිරීම හේතුවෙන්.

මේ නව දෙනා අතර හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ද සිටියා. නෂීඩ් ත්‍රස්තවාදය​, දූෂණ සහ අක්‍රමිකතා ආදී චෝදනාවලට වරදකරු කරනු ලැබ වසර 13 ක සිර දඬුවමකට යටත් කරනු ලැබුව ද පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහුට රටින් පිට වීමට මාලදිවයින් රජය ඉඩ දුන්නා.

මාලදිවයින් රජය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ප්‍රතික්ෂේප කළ අතර රජය පවසන්නේ ජනාධිපති යමීන් බලයෙන් පහ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය උත්සාහ කරන බව යි.