එජාප තනි අලියා වෙනුවට
නිමල් සිරිපාල අගමැති කර

ශ්‍රිලනිප ආණ්ඩුවකට සැලසුමක්
Inside Report

මේ දක්වා එජාපය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහායෙන් නව ආණ්ඩුවක් පිහිටුවන්නට යන කතා පළවෙද්දී
ඊයේ  (14) පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව නිදහස් පක්ෂ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලනිප ආණ්ඩුවක් සැදීම ගැන සැලසුමක් හෙළිව තිබේ.
“අපිට හිටපු ජනපති මහින්දගෙන් ඔෆර් එකක් තියෙනවා ආණ්ඩුවක් හදන්න.. අපි ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදමු” යනුවෙන් එහිදී තිලංග සුමතිපාල පවසා තිබෙන අතරසුසිල් ප්‍රේමජයන්ත පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිකම් කරන ආණ්ඩුවක තමා නොසිටින බවයි.
එම අදහසට විරුද්ධව කිහිප දෙනෙකු මත පළ කිරීමත් සමග නිදහස් පක්ෂ මැති ඇමතිවරු මත දෙකක සිට දෙකට බෙදී තර්ක කර තිබෙයි.
 විජිත් විජයමුණි සොයිසා පවසා ඇත්තේ “මට නම් කාපුව වමාරලා,
අයෙත් කාලා, ආයෙත් වමාරලා කන්න බැහැ.. මම නම් යන්නේ නෑ” යනුවෙනි.
“අපි අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් 2015 දී මහින්ද විරෝධීන් දුන්න ජනවරමට පිටු පාන්න හොඳ නෑ. අපි ආණ්ඩුවේ ඉඳගෙන ජනාධිපතිතුමාගෙ ප්‍රතිපත්ති පොරොන්දු ඉටුකරන්න සටන් කරමු” යැයි මහින්ද සමරසිංහ ද

සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මුලදී නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, සරත් අමුණුගම හා දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්ද මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සහය ගෙන නිදහස් පක්ෂ ආණ්ඩුවක් සෑදීමට විරුද්ධත්වය පළ කර තිබෙනවා.
නිදහස් පක්ෂ මැති ඇමතිවරු මෙලෙස දෙපිල බෙදී තර්ක කරද්දී “මෙතන මත දෙකක් තියෙනවා.. එක් එක්කෙනා කැමති ආකාරයෙන් කටයුතු කරන්න” යැයි කියමින් ජනාධිපතිවරයා නැගිට ගොස් ඇත.
මේ දක්වා පාර්ලිමේන්තුවේ පුළුල් විපක්ෂයක් ගැන පමණක් කතා කළ පිරිස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තනි ආණ්ඩුවක් ගැන අලුත් සිඑහිනයක් දකින්නට වී තිබෙන අතර කතාව වඩාත් පුළුල්ව ඇත්තේ ඉන් පසුවයි.
 විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස මහින්ද අමරවීර  සහ  සුසිල් ප්‍රේමජයත්ත ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා විය.
 සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ 113කට වඩා බහුතරය ජනාධිපතිවරයාට පෙන්වීමටහැකි බව ඔවුනගේ තර්කය වී තිබේ.
යෝජිත නිදහස් පක්ෂ තනි ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු වූ නිමල් සිරිපාල නම් කිරීමට හැකි යයි කතාවී ඇත්තේ මහින්ද හෝ පොහොට්ටු කණ්ඩායමේ කිසිදු අයෙකු තනතුරු භාරගන්නට අකමැත්ත පළ කිරීම හේතුවෙනි.
නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන හෙට (16) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම්

වන බවද ඊයේ 14 රාත්‍රී වනවිට පැවති අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 52 දෙනා මේවන විට එයට සහය පළ කිරීමට එකඟ වී ඇති බවක්ද නිල නොවන ආරංචි වාර්තා කළා.
නිදහස් පක්ෂ  ආණ්ඩුවට එක්සත් ජාතික පෙරමුණේ 26 දෙනෙකු එක් වීමට කැමැත්ත පළ කර ඇති බව පවසා තිබේ.
එජාපයේ වත්මන් නායකත්වය ගැන කළකිරුණු පිරිසක් මෙලෙස එක්වීමට සූදානම් කර තිබේ.
-------------------------

නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තත්ත්වය මෙසේ වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් සඳහා වූ ඉලක්කය ද අතහැර නොමැත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග එක්වී ආණ්ඩු කිරීමට අකමැති නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 10දෙනෙකු එජාප තනි ආණ්ඩුවක් පිහිටුවහොත් එයට එකතු වීමට එකඟ වී ඇත.

 නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා මේවන විටත් සාකච්ඡා පවත්වමින් සිටින අතර එජාපය පවසන්නේ තමන්ට දැනටමත් බහුතරය ඇති බවයි.
මෙම අලුත් ආණ්ඩුව පිහිටුවීම දැන් ස්ථිර වන අතරම සිකුරාදා ජනපතිගේ ප්‍රකාශය සිදුකරන අවස්ථාව වනවිට එය එජාප ආණ්ඩුවක්ද ශ්‍රීලනිප ආණ්ඩුවක්ද යන්න නිශ්චිතව නිගමනය වනු ඇත.