ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිලි කඩාවැටීමෙන් 7 දෙනෙකු මියයාම 
සමූහ ඝාතනයක්
සිද්ධිය වූ දිනයේ
බාප්පා මල්ලිට විරුද්ධව පොලිසි ගිය නිසා පලි අරන්



පෙරේදා සවස ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ මාවතේ තේකොළ හා කුළුබඩු අපනයන සමාගමකට අයත් ගොඩනැගිල්ලක් කඩා වැටී කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු 7 දෙනෙකු මියයාමේ සිද්ධිය සමූහ ඝාතනයක් බවට මේ වනවිට තොරතුරු අනාවරණයවී තිබේ.
යාබද ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමේ දි එහි බිත්තියක් වහළය මතට කඩාවැටිමෙන් මෙම ගොඩනැගිල්ල කඩා වැටුණ අතර මෙය ඥාති දෙදෙනෙකු අතර විරසකය මත සිතා මතාම කළ දෙයක් වශයෙන්
හිතනවා යැයි සිද්ධිය නිසා මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ  ඥාති දියණියක වන කොළඹ 05, හැව්ලොක් පාරේ පදිංචි ෂරීඩා සෂිර් (40) මහත්මිය මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරික්‍ෂණයේදී සාක්ෂි දෙමින් පවසා තිබේ.
සිද්ධියෙන් මියගියේ කොළඹ 5,

හැව්ලොක් පාරේ පදිංචි තාහීර් අබාස් ගුලම් හුසේන් (60) කෝටිපති ව්‍යාපාරිකයා සහ එහි සේවකයෝ හය දෙනෙකි.
මියගිය සියලු දෙනාගේ හදිසි මරණ පරික්ෂුණ කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂකවරයා යටතේ ඊයේ (15) දහවල් පැවැත්විණි. කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාති දියණිය එහිදී මෙසේ පැවසුවාය.
‘සිද්ධියෙන් මියගොස් ඇත්තේ මගේ බාප්පා, මගේ තාත්තාගේ මල්ලි, මගේ පියාත් බාප්පාත් තේ සහ කුළුබඩු අපනයනය කිරිමේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. බාප්පා මෙම ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරමින් සිටියා. අපි ද එම ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කරනවා.
මෙම ව්‍යාපාරයට අයත් ගබඩාව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. කඩා වැටුණු එම ගබඩාවයි.
මගේ බාප්පා විවාහකයි. ඔහුට දරුවන් දෙදෙනකු සිටිනවා. පුතාගේ වයස අවුරුදු 21, දුවගේ වයස අවුරුදු 16 යි. සිද්ධිය වු දිනයේ මගේ අයියා මට දැනුම් දුන්නා අනතුරකින් ගොඩනැගිල්ල කඩාවැටිලා බාප්පා තුවාල වෙලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති තිබෙනවා ඉක්මනින් එන්න කියලා..

මම කොළඹ ජාතික රෝහලට යනවිට දැනගත්තා  හත් දෙනකු මියගොස් ඇති බවත් ඔවුන් අතර බාප්පා ද සිටින බවත්. මෙම ගොඩනැගිල්ලට යාබද තිබෙන ගොනැගිල්ල මගේ මල්ලිට අයත් එකක්. එහි තිබෙන පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට ඔහු කොන්ත්‍රාත් ලබා දි තිබුණා.
එම ගොඩනැගිලි කඩා ඉවත් කිරිමේ දී ඉතිරි ව තිබූ බිත්ති කොටස් මෙම ගබඩාවී පිහිටි ගොඩනැගිල්ලේ වහළය මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම බිත්තිය ගොඩනැගිල්ල වහළය මතට එකවරම කඩා වැටීම පිළිබඳ අපිට සැකයක් තිබෙනවා. මගේ මල්ලි හා බාප්පා අතර අමනාපකම් තිබුණා.ඒ හේතුවෙන් මෙය හිතා මතාම සිදුකර ඇතැයි මම සිතනවා.
මෙම හවුල් ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මල්ලි සමග ප්‍රශ්න තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ නඩුවකුත් පවතිනවා. බාප්පාගේ අත්සන ව්‍යාජ ලෙස
යොදාගෙන මුදල් වංචා කිරිමේ සිද්ධියක් නිසා සිද්ධිය වු දිනයේත් බාප්පා මල්ලිට විරුද්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා. එම නිසා එය මුල්කරගෙන මෙම සිද්ධිය හිතා මතා කළ දෙයක් බවට හිතනවා‘

කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා මෙම මරණය පිළිබඳු පශ්චාත් මරණ පරීක්ෂිණ පැවැත්විය. සිද්ධියේ වැඩිදුර කැඳවීම ලබන මස 07 වැනි දිනට නියම කෙරිණි.
එදිනට රස පරික්ෂික වාර්තාව සහ මෙම ගොඩනැගිලේ තත්ත්වය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කළේය.