තාත්තාගේ සියලුම ගීතවල අයිතිය මගේ  
ඔහුට අපට නඩු දාන්න බෑ- ජයන්ත


ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් එවා තිබුණි. නමුත් ඒ ලිපිය ලැබීමෙන් පසුව විකාශය වුනු රූපවාහිනී වැඩසටහනකදී  වික්ටර් රත්නායගේ පුතුණුවරු වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක දෙදෙනාම තම පියාගේ ගීත ගායනා කර තිබුනේ අරියාදුවට මෙන්ය.
 වික්ටර් රත්නායකගේ ගීත ගායනා කිරීම නිසා ඉදිරියේදී ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද
යන ගැටලුවක් මතුව තිබෙන අතර මෙතෙක් හෙළිනොවූ රහසක් හෙළි කරමින් ජයන්ත රත්නායක ඒ ගැන මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

‘එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම  බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ.  ඒ කිසිම හේතුවක්

නිසා ‍නෙවෙයි. නීතිඥයකුගේ මාර්ගයෙන් එවලා තිබුණු ලිපියේ සඳහන් කරලා තිබුණේ මින් ඉදිරියට තාත්තාගේ ගීත ගායනා කරන්න එපා කියලා විතරයි. එහෙම ලිපියක් එව්වා කියලා තාත්තාගේ ගීත ගායනා කිරීම අපට තහනම් කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒ නිසා අපට විරුද්ධව තාත්තා නඩු දානතුරු තමයි  මමත් මේ බලාගෙන ඉන්නේ.

2013 වසරේදී තාත්තා ඔහුගේ ගීතවල කර්තෘ භාගය ලබාගැනීම ගීත පැවැරීම ඇතුළු සියලු අයිතීන් නීතිඥයෙක් ඉදිරියේ මට ලියා දුන්නා. ඒ නිසා අපට එවපු ලිපිය සම්බන්ධයෙන් මට බයවෙන්න කිසිම හේතුවක් නැහැ. ජීවිත භුක්තිය තියාගෙන ‍නෙවෙයි තාත්තා ඔහුගේ ගීතවල අයිතිය මා වෙත පැවැරුවේ. ඒ නිසා මින් ඉදිරියට ඔහු ගායනා කරන ගීතවල අයිතිය විතරක් ‍නෙවෙයි ඒවායේ කර්තෘ භාග පවා හරිනම් අයිති මටයි.

තාත්තා හොඳටම දන්නවා නඩු දැම්මොත් මොනවාද වෙන්නේ කියලා. ඔහු සමග

දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම තාත්තාගේ ගීත විතරක් වේදිකාවේ ගායනා කළේ නැහැ වෙනත් ප්‍රවීණ ගායකයන්ගේ පුත්තු තාත්තලාගේ ගීත ගායනා කරද්දී බොහෝ දෙනා අපෙන් විමසලා තියෙනවා ඇයි අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා. අනික මෙච්චර කාලයක් වෙනත් සමහරු තාත්තාගේ ගීත ගායනා කරද්දිත් මම නිහඬව හිටියා. තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න මමයි මල්ලියි ඉන්න නිසා බයවෙන්න එපා කියලා තමයි මට දැන් රසිකයන්ට කියන්න තියෙන්නේ.‘