සුපෙම් හැඟුම් ඔබෙන් එපා - ගීයක රස

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ ... //

පාසලේ සරසවියේ සමීප වන මිතුරන් පසු කලෙක මිතුදමට එහාගොස් පෙම්වතුන් වීම සුලබය. නමුත් මිතුදමින් එහාට යන ප්‍රේමය වෙත පියනගන්නට කිසියම් හේතුවක් නිසා නොකැමති  හෝ නොහැකි
යෙහෙළිය පෙම් හැඟුම පතන යහළුවා අමතා ආදරයෙන් ආදරය ප්‍රතික්ෂේප කරන හැඟීම්බර මොහොත මෙම ගීතයෙන් විස්තර වෙයි.
මහ සයුරේ පාවෙන නෞකාවක් ගොඩබිමේ ඇති පහන් ටැඹ දර්ශනය වුවද කවදාවත් නෞකාවට පහන් කණුව වෙත යාත්‍රා කිරීමට නොහැකිය. කළ හැකි වනුයේ ඈත සිට බලා හිඳීම පමණි.ඇය කියයි.

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්

කිසි දින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

පහන් ටැඹේ එළිය නැතිවූ කළ ඉතිරිව ගියේ ප්‍රබල නොවන තරු එළියයි. රෑ කාලයේ මගද හරිහැටි නොපෙනේ. තීරණය එපා නම් මොනවා කරන්නද දැඩි සිතින් ඔබව අතැර යමි ඔහු පිළිතුරු වශයෙන් කියයි.

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකි බිඳිනෙමි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

පෙම ප්‍රතික්ෂේප කළත් සමීපතමයා ගැන යෙහෙළියගේ සිතේ මතකය මකන්නට කිසි කලෙක බැරිය. ඉර හැංගෙන අඳුරු මොහොතක හැඟුම්බරවී පාළුවෙන් වියරුවී හඬන්නට ඇයට සිතෙයි. තමාගේ නියමයෙන් ඉවත ගියත් අතැර ගිය ඔහු දෙස නෙතු කොණින් දුර යනතුරු ඇය ඔහු දෙස බලා සිටී. අත්හළ නමුත් සිතේ සැඟවුණ මතකය ආදරය ඉතිරිකරගෙනය.
(ගායනය - ප්‍රදීපා ධර්මදාස සංගීතය - රෝහණ වීරසිංහ පද රචනය - කපිලකුමාර කාලිංග)