ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ඉරානය තුළ නොසන්සුන්තාවයන් ඇති කිරීමට ගත් උත්සාහයන් ඉරාන ජනතාව විසින් යළිත් පරාජය කරන ලද බව ඉරාන ආගමික නායක අයතුල්ලා අලි කමනේයි ප්‍රකාශ කළා.



ඔහු මෙම අදහස් දැක්වූයේ පසුගිය දිනවල ඉරානය පුරා පැතිර ගිය උද්ඝෝෂණ පිළිබඳ අදහස් දක්වමින්.

මෙම උද්ඝෝෂණ මතුවූ අවස්ථාවේ රජයට සහය පළ කරමින් විරෝධතාවල නිරත වූවන්ට ඔහු ස්තූතිවන්ත වුණා.


ඉරාන රජය පෙරළා දමන්නට උත්සාහ කරන්නන් වෙත ජනතාව යළිත් පාඩමක් ඉගැන්වූ බව කමනේයි කියා සිටිනවා.

මීට පෙර එරට මතුවූ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා පිළිබඳ ඉරානය විසින් ඊශ්‍රායලයට සහ සවුදි අරාබියාවට චෝදනා එල්ල කරනු ලැබුණා.

ආගමික නායක කමනේයි කියා සිටියේ පසුගිය 40 වසර පුරාම ඉස්ලාමික විප්ලවයට එරෙහි සංවිධාන ඉරාන රජය පෙරළා දමන්නට උත්සාහ දරන බවයි.

මෙම උද්ඝෝෂණ කෙටි කාලීන එකක් නොව දිගු කාළයක් තිස්සේ ඇදෙන අරගලයක එක් කොටසක් බවයි ඔහු පවසා තිබෙන්නේ.