කීට විද්‍යාඥයාගේ සහ ගොවියාගේ
මළ සිරුරු මාරුවී මළගෙදර ජංජාලයක්

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ විශ්‍රාමික කීට ජීව විද්‍යා පර්යේෂකවරයකු හා ගොවි මහතෙකුගේ සිරුරු අත්වැරදීමකින් මාරුවී කොළඹ, පන්නිපිටිය හා කහටගස්දිගිලිය ප්‍රදේශයට මල්ශාලා මගින් ප්‍රවාහනය කිරීම නිසා
මෘත දේහයන්ගේ ඥාතීන්ට ඒවායේ මාරු ඇර ගැනීම සඳහා විශාල වෙහසක් දැරීමට සිදුවීමේ පුවතක් පෙරේදා (13) අලුයම අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.

ජීවිතක්ෂයට පත්වූ දෙනාගේ මෘත දේහයන් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී හදිසි මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව අනාවරණය කර ගැනීමට අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ.

 අනතුරුව මෘත දේහයන් අයිතිකරුවන් වෙත බාරදීමට මෘත ශරීරාගාරයේ සේවකයන් (මෝචරිය) කටයුතු කර තිබේ.

හදිසි හෘදයාබාධයන් හේතුවෙන් තම්මැන්නාව රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මිහින්තලය ‍පොලිස් වසමේ සීප්පුකුළම පඩුවැව මැකිච්චාව ලිපිනයේ පදිංචිව සිටි (63) හැවිරිදි එච්.පී. නන්දසේන ගොවි මහතා හා කොළඹ මහ නගර සභාවේ සේවයේ නිරත වී අනුරාධපුර ශ්‍රාවස්තිපුර ඥාති නිවසක විසූ විශ්‍රාමික කීට ජීව විද්‍යාඥවරයකු වූ (90) හැවිරිදි එච්.ඒ. ජයසිංහ මහතා පසුගිය (12) වනදා උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබේ.

සේවකයන් ලබාදුන් දේහයන් දෙක පරීක්ෂා නොකළ ඥාතීන් හා මල් ශාලා සේවකයන් ඒවා එම්බාම් කිරීම සඳහා හර්ස් රථයට පටවාගෙන මල්ශාලා වෙත රැගෙන ගොස් තිබේ. ඒ අනුව කොළඹ පන්නිපිටිය ගෙන යායුතු දේහය අනුරාධපුර මල් ශාලාවකදී සකසා කහටගස්දිගිලිය මැකිච්චාවට යැවීමට මල්ශාලා සේවකයන් කටයුතු කර තිබෙන අතර කහටගස්දිගිලිය මැකිච්චාවේ දේහය පන්නිපිටියට ප්‍රවාහනය කොට ඇත. මැකිච්චාවේ දේහය නිවසට රැගෙන ගිය ඥාතීන් දේහයන් විවෘතකර බලද්දී එය සිය ඥාතියාගේ නොවන බව තහවුරු කරගෙන එය කුමන ප්‍රදේශයට මාරුවී ගියේදැයි සොයා තිබේ.

පන්නිපිටියේ දේහය මල්ශාලාවේ එම්බාම් කරමින් සිටියදී එයද මාරුවී ඇතිබව දැනගත් ඥාතීන් ඔවුන්ගේ දේහය සොයා ගැනීමට වෙහෙසවී තිබේ. පසුව දෙපාර්ශ්වය නිවැරදිව දේහයන් මාරුවී ගිය ස්ථාන දුරකථන මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පෙරේදා (13) අලුයම නැවතත් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරය ඉදිරිපිටට පැමිණ නීත්‍යානුකූලව දේහයන් මාරුකර නිවෙස්වලට රැගෙන ගොස් තිබේ.

මෘත ශරීරාගාරයේ සේවකයන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහයන් ඥාතීන්ට ලබාදීමට කටයුතු කර තිබුණත් දෙපාර්ශ්වයේම ඥාතීන් හා මල්ශාලා සේවකයන් ඔවුන් භාරයට ගත් දේහයන් නිවැරදි ඒවාද යන්න තහවුරු කරගැනීම සඳහා කටයුතු නොකිරීම නිසා මෙය සිදුව තිබෙන බවත් වාර්තා විය.

අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය