බලපත්‍ර රහිතව යාපනයේ පවත්වා ගෙන ගිය කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන ගණනාවක් විදුලි සංදේශ නියාමන කොමිසමේ නියෝග මත පෙරේදා (10) ගලවා ඉවත්  කර තිබේ.

නීති විරෝධීව පවත්වාගෙන ගිය කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන පසුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදාට පෙර ලියාපදිංචි කොට නිසි බලපත්‍රයක් ලබා ගන්නා මෙන් විදුලි සංදේශ නියාමාන් කොමිසම දැනුම් දී තිබුණි.

මේ දක්වාම නිසි බලපත්‍රයක් ලබාගැනීමට අපොහොසත් වූ යාපනයේ

කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන තුනක් ඒවායෙහි අයිතිකරුවන් විසින් ගලවා ඉවත් කරගෙන ඇති අතර ඉදිරි මාසය සදහාත් මෙම කේබල් රූපවාහිනී සේවාවන් නැරඹීම සදහා මූලිකව මුලින් විශාල මුදලක් ගෙවූ පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිති. ඔවුන්ට මේ වනවිට මුදලුත් එම රූපවාහිනී සේවාවනුත් නොමැති වී තිබේ.

කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන පවත්වාගෙන යන පිරිස රූපවාහිනී නාලිකා ගණනාවක් නැරඹිය හැකි අන්දමට පාරිභෝගිකයින්ට සහන සලසා මාසිකව ඔවුන්ගෙන් මුදලක් අයකිරීමට වසර ගණනාවක සිට කටයුතු කොට තිබුණි.

මේ කේබල් රූපවාහිනී නාලිකා හරහා ඉන්දීය රූපවාහිනී නාලිකා ගණනාවක්ම ඉතා පැහැදිලිව නැරඹීමට හැකියාව ඇති නිසා යාපනයේ දෙමළ ජනතාව අතර එම කේබල් රූපවාහිනී නාලිකා අතිශයින්ම ජනප්‍රිය වී තිබේ.

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් පුද්ගලයෙකුගෙන් පහර කෑමකට ලක් වූයේද මෙම කේබල් රූපවාහිනී සේවාවක් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් මතය.

(දිනසේන රතුගමගේ)