උසස් පෙළ ලියා මසකින් මියගිය ෂෙහාන්ට
ප්‍රතිඵල ඇවිත් බලද්දී A 3 යි


කොළඹ රාජකීය විද්‍යාලයේ කලා විෂය ධාරාවෙන් පසුගිය අගොස්තු මස උසස් පෙළ විභාගයට පෙනී සිටි 19 හැවිරිදි ෂෙහාන් පෙරේරා හරියටම විභාගය අවසන්වී මසකින් සැප්තැම්බර් මස 25 වනදා හදිසි හෘදයාබාධයකට ලක්ව මිය ගියේය.
පාසැලේ කැඩෙට් කණ්ඩායමේ දීප්තිමත් ශිෂ්‍යභටයෙකුදවූ ෂෙහාන් අධ්‍යාපනික කටයුතු වලද දක්ෂ ලෙස නියැළුණ අතර පසුගිය සතියේ උසස් පෙළ ප්‍රතිඵල ප්‍රකාශවීමෙන් පසු
ඔහුගේ නම ඉදිරියේ ඒ සාමාර්ථ 3 ක් සටහන්ව තිබුණි. ඔහුට නීති පීඨයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලබන්නට පවා වරම් එම ප්‍රතිඵල තුළින් ලැබී තිබුණත් අද ඒ වරම ගන්නට ඔහු ජීවතුන් අතර නැත.
 කළුතර, පළාතොට "ඉසුරු උයන - 2 ලිපිනයේ පදිංචිව සිටි පාලිත ෂෙහාන් දසුන් පෙරේරා නම් වූ මෙම 19 හැවිරිදි සිසුවා වෙනුවෙන් පින් පිණිස විශේෂ ලේ පරිත්‍යාග  පින්කමක් පසුගියදා කළුතර ඓතිහාසික බෝධීන්වහන්සේ අභියසදී පැවැත්විණි. එහිදී 300කව අධික පිරිසක් ලේ දන්දුන්හ.

එහිදි ඔහුගේ පියා වන විශ්‍රාමික යුද හමුදා පොලිස් නිලධාරි ක්‍රිෂාන්ත පෙරේරා මහතා මෙසේ කීය.

“අපට ඉන්නෙ දරුවන් දෙදෙනයි. ෂෙහාන් වැඩිමලා. මගේ දියණිය නෙත්මි හොරණ තක්ෂිලා විද්‍යාලයේ උසස් පෙළ හදාරනවා.
ෂෙහාන් දක්ෂ දරුවෙක්, ඔහු අපොස සාමාන්‍ය - පෙළ දක්වා ඉගෙනුම් ලැබුවෙ කළුතර මහා විද්‍යාලයේ, ශිෂ්‍යත්වෙයි සාමාන්‍ය පෙළයි  ඉහළ සාමාර්ථයක් ලබාගත්තා, පාසලේ කැඩෙට් කණ්ඩායමේ හිටියා.තවත් විෂය බාහිර ක්‍රියාකාරකම්වලටත් සහභාගි වුණා. ඔහු උසස් පෙළ හැදෑරුවේ කොළඹ රාජතීය විද්‍යාලයේ. 2006 වසරේ ‘හර්මන් ලෝස්’ කුසලානය කොළඹ රාජතීය විදුහල් කැඩෙට් කණ්ඩායම්ව හිමිවු අවස්ථාවේ ඔහු එහිද සාමාජිකයකු වුණා.උසස් පෙළට පාඩම් කළේ නීතිඥවරයකු වීමට අධිෂ්ඨානයෙන්.. විභාග ප්‍රතිඵල අනුව ඔහු “ඒ”  3ක් ලබාගෙන තිබුණා. ඔහුගේ බලාපොරොත්තුව ඉටුවෙලා වුණත් එය දකින්න ඔහුට ජීවත්වෙන්න බැරිවෙලා. අපට කළ හැකිව තිබෙන්නේ පුතා වෙනුවෙන් පින් දහම් කිරීමයි.”

(තොරතුරු -කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්ච්)