ලංකාවේ සිදුවන ඇත් දළ ජාවාරම සහ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ සභාපති රුක්ෂණ් ජයවර්ධන මහතා පවසයි.
ඒ මහතා මෙසේ

පැවැසුවේ කොළඹ බී.ආර්.සී. ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේදී පෙරේදා (6දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.
ගල්ගමුවේ දළ පූට්ටුවා ලංකාවටම හිටිය මිල කළ නොහැකි සම්පතක්. මේ සතා ආරක්ෂා කර ගැනීමට නොහැකිවීම ගැන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතුයි. පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාව මාරු කළාට මදි. ප්‍රදේශයේ සියලුම උසස් වනජීවී නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර දඬුවම් ලබා දිය යුතුයි.

විල්පත්තුවේත් ඉන්නවා තුවාල ලබා අසාධ්‍යව සිටින විශාල දළ ඇතෙක්. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන නිසි අවධානයක් යොමු කරලා නැහැ. අපට හිටපු හොඳම දළ ඇතා ලෙස සැලකුණු ගල්ගමුවේ දළ පූට්ටුවා ජාවාරම්කරුවන් ඉදිරියේ ජීවිතය පූජා කළා. මේ සහගහන අපරාධවලට තිත තබන්න අපි දැන්වත් නැඟිටිය යුතුයි.
ලෝකයේ අනෙක් දියුණු රටවල් ඉහළ තාක්ෂණයෙන් යුත් රේඩියෝ කොලර් පලඳවා අලි ඇතුන් ආරක්ෂා කරනවා. අපේ සංරක්ෂණ ක්‍රමවේදයන් යාවත්කාලීන කළ යුතුයි. ගල්ගමුව දළ පූට්ටුවා වැනි ඇතකු ඝාතනය කිරීම මනුෂ්‍ය ඝාතනයකටත් වඩා අපරාධයක්. අපි මේ අපරාධයට එරෙහිව ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරනවා.

පරිසරවේදී නයනක රන්වැල්ල, නීතිඥ වර්ධනී කරුණාරත්න ඇතුළු පරිසරවේදීන් පිරිසක්ද මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූහ.

සපුමල් ජයසේන (Mawbima)